( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කිතුල්ගල පොලීසිය විසින් තමන් නීතිවිරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව කියමින් ඉන් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ඉල්ලා නීත්‍යානුකූල ලෙස රා මැදීමේ නිරත පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස කිතුල්ගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න , උප පොලිස් පරීක්ෂකවරුන් වන ගුණසේන , සේනාරත්න ,කිතුල්ගල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරුන් වන සඳමාල් ,ගුණවර්ධන යන මහත්වරු සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතීඥ නිලූකා දිසානායක යන මහත්ම මහත්මීන් මාර්ගයෙන් පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම්කරු වෘත්තීයෙන් රා මදින්නෙකු බවත් ඒ සඳහා රජයේ බලපත‍්‍රයක්ද ඇති බවත් පෙත්සම්කරු කියා සිටී.
එලෙස නීත්‍යානුකූල ලෙස රා මැදීමේ කටයුතු වල නිරතව සිටියදී ඉකුත් ජූලි 28 වැනිදා පස්වරුවේ තුන්වැනි සහ හතරවැනි වගඋත්තරකරුවන් තම නිවසට පැමිණි බවත් ,එහිදී තමන් නීතිවිරෝධී ලෙසින් රා මැදීමේ ව්‍යාපාරයක නිරත වන බවට අභූත චෝදනා කළ බවත් පෙත්සම්කරු කියා සිටී.
එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් තමන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් හිමිවූ නීත්‍යානුකූල බලපත‍්‍රය වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට පෙන්වුවද ඒවා පිළිනොගෙන තමන් පොලිස් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව පෙත්සමේ සඳහන් වේ.
එම නීතිවිරෝධී අත්අඩංගුවට එරෙහිව තමන් දිගටම කරුණු දැක්වුවද තමන්ට පහරදී එම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගෙන කිතුල්ගල පොලිස් ස්ථානයට රැගෙන ගොස් වද හිංසා පැමිණවූ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.එම අමානුෂික පහරදීම් ජංගම දුරකථනයක් මඟින් ඡායරූප ගත කරනු ලැබූ බවද එහි සඳහන්ව ඇත.
පසුව තමන් පොලිස් රිමාන්ඞ් බාරයේ රඳවා තබා ගනිමින් නීතිවිරෝධී මත්පැන් ලඟ තබා ගැනීමේ චෝදනා යටතේ තමන්ව ඊට පසුදින රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද ,එහිදී තමන් එම චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවද පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.
මෙලෙස තමන්ට අමානුෂික ලෙස පහරදී වද හිංසා පැමිණවූ කිතුල්ගල පොලීසිය හැමවිටම කිතුල්ගල ප‍්‍රදේශයේ නීත්‍යානුකූල ලෙස රා මැදීමේ කටයුතුවල නිරත පුද්ගලයින් ලඟට ගොස් අල්ලස් ලබා ගැනීමේ ව්‍යාපාරයක් නිරතවන බවත් ,එලෙස අල්ලස් ලබා නොදෙන පුද්ගලයින් නීතිවිරෝධි ලෙස මත්පැන් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අංඩංගුවට ගෙන රිමාන්ඞ් කරවන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

