රත්නපුරේ ජලයෙන් යටවන ප්‍රදේශවල පාසල් වරුවෙන් වසයි


(අජිත්ලාල් ශාන්තඋදය)

පවතින වර්ෂාවෙන් පහත්බිම් ජලයෙන් යටවීම නිසා දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා රතනපුර දිස්ත්‍රික්කයේ අවදානම සහිත ප්‍රදේශවල සියලුම පාසල් අද (07) දහවල් 12.00ට වසා දමන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විදුහල්පතිවරුන්ට දැනුම්දුන් බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසුවේ ය.

බොහෝ ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීම නිසා පාසල් අවසන් වී දරුවන්ට ආරක්ෂිතව සිය නිවෙස්වලට යාමට සැලැස්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ලේකම්වරයා පැවසුවේ ය. 

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය ද ඇතුලුව කුරුවිට,ඇහැළියගොඩ,කිරිඇල්ල,අයගම,කලවාන,නිවිතිගල,පැල්මඩුල්ල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත්බිම් ජලයෙන් යටවී තිබෙන බවද ලේකම්වරයා පැවසුවේ ය. 

ඇතැම් මාර්ගවල වාහන ගමනාගමනය ද ඇනහිට ඇති නිසා දැරුවන්ට සිය නිවෙස්වලට ආරක්‍ෂිතව ගමන්කරන ලෙස විදුහල්පතිවරු හා ගුරුවරු හරහා උපදෙස් දුන් බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේය.

රත්නපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇද වැටේ නම් නාය යාමේ අනතුරුදායක බවට හඳුනාගත් ස්ථාන රැසක් ඇති බවත් ඒ තැන්වලින් ඉවත්ව ආරක්‍ෂාකාරී ස්ථාන කරා යන ලෙස දරුවන්ගේ මව්පියන් ද දැනුවත් කළ බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ය. 

පසුගිය මැයි මාසයේ සිදුවු ගංවතුර සහ නායයාම් නිසා සබරගමු පළාතේ පාසල් දරුවන් හතළිකට ආසන්න   ප්‍රමාණයකගේ ජීවිත අහිමිව ගියේය.