රත්නපුරයේ මාර්ග යටවෙයි


(අජිත්ලාල් ශාන්තඋදය , ඩයනා උදයංගනී සහ අප්සරා යෝසිත් විජේසූරිය)

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත්බිම් සහ අතුරු මාර්ග රැසක් අද (07) දහවල් වනවිට ජලයෙන් යටවිය.

බදුවත්ත-ඉඩංගොඩ මාර්ගය, කුරුවිට-ගොරකඇල මාර්ගය, කඳන්ගොඩ-ගොරකඇල මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනය ඇණ හිට තිබේ.

කොළඹ-බදුල්ල ප‍්‍රධාන මාර්ගය ඇහැලියගොඩ මොරගල සහ මාහිංගොඩ ප‍්‍රදේශයෙන් යටවීමේ අවදානමක්  පවතී.
 
ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, පැල්මඩුල්ල, අයගම, නිවිතිගල, කලවාන,  ඕපනායක, ඉඹුල්පේ, බළන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත්බිම් ජලයෙන් යටවිය.

කළු ගඟේ ජල මට්ටම අද පෙරවරු 10.00 වනවිට මිටර් දෙකක මට්ටමේ පැවති බවත් ගංවතුර අවදානමක් ඇතිවන්නට ජල මට්ටම මීටර් හතර ඉක්මවිය යුතු බවත් රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා පැවසීය.
 
ඇහැලියගොඩ  සහ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල  නායයෑමේ අවදානමක් මතු ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශය පවසයි.

රත්නපුර නගරයේ සීවලී ක‍්‍රීඩාංගනය ,  ගොඩවෙල පාර, රත්නපුර - අංගම්මන පාර, රත්නපුර - පානදුර පාර  , රත්නපුර - ඇලපාත මාර්ගයේ දිමියාව දම්බුළුවන ඇතුළු ප‍්‍රදේශ කීපයක්ම මෙන්ම කුරුවිට ගෝනපිටිය ප‍්‍රදේශයේ නිවාස හා පහත් බිම්  රැසක් ද යටවී තිබිණි.

(ඡායාරූප-අජිත්ලාල් ශාන්ත උදය)

(ඡායාරූප-අප්සරා යෝසිත් විජේසූරිය)