( තිළිණි ද සිල්වා)
වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ලවී සිටි මොරටුව හිටපු දිසා විනිසුරු බාලසූරිය ආරච්චිගේ රංජන් සෝමසිංහ මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා හමුවේ අද කැඳවූ අතර එහිදී මෙම නියෝගය කරන ලදී.
අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝග අනුව මහාධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයාට විවෘත අධිකරණය හමුවේදී අධි චෝදනා පත‍්‍රය බාරදීමෙන් අනතුරුව ඔහුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසටද විනිසුරුවරයා නියෝග කළේය.
එම නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමටද මහාධිකරණ විනිසුරුවරයා විසින් දින නියම කරන ලදී.තවද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ පළමුවන හා දෙවන සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමටද නියෝග කළේය.
රුපියල් ලක්ෂ 24කට ආසන්න වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය හෙලිදරව් කිරීමට විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවට එම අධි චෝදනා පත‍්‍රය මඟින් සනාථ කර තිබිණි.

