මිනිස් වෙළඳාම අතින් ලංකාව දෙවැනි පෙළට


(විනීතා එම් ගමගේ)

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මිනිස් වෙළඳාම නරක ලෙසම සිදුවන රටවල් අතර ආසියාවේ ප්‍රමුඛ රට ලෙස මෙතෙක් හඳුන්වනු ලැබූ  ශ්‍රී ලංකාව මේ වන විට එම තත්ත්වයෙන් මුදවා එහි දෙවැනි තැනට පත්ව ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

එහෙත් තවමත් ශ්‍රී ලංකාව මිනිස් වෙළඳාම සිදුවන රටක් යන ලේබලය යටතේ පවතින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ  පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත්  අමාත්‍යවරිය  කියයි.

එකී අවමානයෙන් මිදීම සඳහා මිනිස් වෙළඳාම මැඩලීම පිණිස මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගත් බව ද අමාත්‍යවරිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානය,විදේශ රැකියා අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා එක්ව අධීකරණ අමාත්‍යංශය සංවිධානය කරනු ලබන මිනිස් වෙළඳාම මැඩලීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අධිකරණ අමාතයංශයේ දී නිල වශයෙන් අද (06) ආරම්භ කළ අවස්ථාවේ දීය.   

මිනිස් වෙළඳාම සංවිධානාත්මක අපරාධයක් වන අතර එය වත්මන් සමාජය තුළ වහල් ක්‍රමයක් ලෙස පෙනී යන්නේ යැයි අතුකෝරල මහත්මිය කියයි.

ශ්‍රී ලංකාව තුළ මිනිස් වෙළඳාම දණ්ඩනීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය මිනිස් වෙළඳාම ශ්‍රමය සූරාකෑමට හා ලිංගික සූරාකෑමට පමණක් සීමා නොවන බවත් ශ්‍රමය හෝ වාණිජමය ලිංගික සූරාකෑමට ලක් කිරීම  පිණිස පුරුෂයන්, ස්ත්‍රීන් හෝ ළමුන් වෙළඳාම සිදුකෙරෙන බව ද කියයි.
 
මෙම දැනුවත් කිරීම තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ 2015-2019 පස් අවුරුදු ජාතික ක්‍රමෝපාය සැලැස්මේ ප්‍රධානතම අංගයක් වේ.

මිනිස් වෙළඳාම අවම කිරීම සම්බන්ධයෙන් සහාය වීමට, නඩු පැවරීමට සහ වැඩිදුර තොරතුරු සැපයීම සඳහා සංක්‍රමණය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සංවිධානය විසින් කෂණීක දුරකථන ඇමතුම් සේවාවක් ලබා දී ඇති අතර 0766588688 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා දිය හැකිය.