(රංජන් කස්තුරි)
නව මැතිවරණ ක‍්‍රමයට අනුව පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමේ බාධා ඉවත් කිරීම සඳහා මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා පනත යන පනත් තුන සංශෝධනය කිරීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මතවූ අතර කතානායක කරු ජයසූරිය මහතා ඊට අද (31) අනුමැතිය දීමට නියමිතය.
කෙසේ වෙතත් මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප‍්‍රාදේශීය සභා පනත සංශෝධනය කරන තුරු නව මැතිවරණ ක‍්‍රමය අනුව පළාත් පාලන ඡුන්දය පැවැත්විය නොහැකි යැයි ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව තීරණය කිරීමේදී කොට්ඨාස මට්ටමින් තේරීපත්වීමට නියමිත සභික සංඛ්‍යාවෙන් සියයට 40ක ප‍්‍රමාණයක් නොඉක්මවන අමතර සභිකයින් සංඛ්‍යාවක් ලැයිස්තුවක් මගින් තෝරාපත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි එම පනත් සංශෝධනය කිරීමට නියමිතය.
ඒ අනුව මහනගර සභා ආඥාපනතේ 5 වන වගන්තිය, නගර සභා ආඥාපනතේ 5 වන වගන්තිය සහ ප‍්‍රාදේශීය සභා පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට නියමිතය.

