පැය හතරට කළු ගඟ මීටර් පහකින් ඉහළට


(අජිත්ලාල් ශාන්තඋදය)

කළු ගඟේ ජල මට්ටම තවමත් පවතින්නේ යම් අවදානමක නිසා කළු ගඟ දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා ඉල්ලීමක් කරයි.

කළු ගඟේ පිටාර මට්ටම ලෙස සලකන්නේ මීටර් 7.5ක් බව පැවසූ ඉංජිනේරුවරයා  අද (8) උදෑසන 08.00 වනවිට කළු ගඟේ ජල මට්ටම මීටර් 07.00 තත්ත්වයේ පැවති බව ද ඔහු පැවසීය.

පැය හතරක් ඇතුලත මීටර් 07.00 දක්වා මීටර් පහකින් ඉහළ ගිය බවත් ඒ නිසා පැය තුනක් වැනි කෙටි කාලයක තුළ මිලිමීටර් 100ක වැසි කළු ගඟේ ඉහළ ප‍්‍රදේශයට ඇදහැළුණොත් ජලමට්ටම සීග‍්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් ඇති බව ද සඳහන් කළේය.

කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර නගරයේ සීවලී ක‍්‍රීඩාංගණය ද ජලයෙන් යට වී ඇත. සෙනසුරාදා (10) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂයේ 71 වැනි සංවත්සර සැමරුම් උත්සවය සකසන්නේ ද එම ක‍්‍රීඩා පිටියේ ය. එම සංවත්සර උත්සවයට අදාල ඉදිකරමින් යන වේදිකාව ඇතුළු  ප්‍රේක්‍ෂකයන්ට රැඳී සිටිය හැකි තාවකාලික ශාලා ද ජලයෙන් යටවී තිබේ.