හර්ෂණ තුෂාර සිල්වා
ත්‍රස්තවාදය පරාජය කිරීමේදී පාකිස්තානය ලබාදුන් සහයෝගය දැඩි සේ අගය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (6) පස්වරුවේ පැවැසීය.
ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවකදී විදේශයක් සමඟ සෘජු ආරක්ෂක මිත්‍රකම් හෝ සම්මුතීන් පවත්වා නැතැයි ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.
අදට (6) යෙදී තිබෙන පාකිස්තාන ආරක්ෂක දිනය වෙනුවෙන් කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ පැවැති උත්සවයක් අමතමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඒ බව පැවැසීය.
දුෂ්කර හා ඉතාම වැදගත් අවස්ථාවලදී පාකිස්තානයත් එරට ජනතාවත් සෑම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දුන් බව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් වැදගත් සහ දුෂ්කර අවස්ථාවලදී පාකිස්තානයෙන් නිරන්තරයෙන් ද්‍රව්‍යමය සහාය පමණක් නොව මානසික සහාය ද ලැබුණු බව ඇමැතිවරයා එහිදි සිහිපත් කළේය. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්විපාර්ශවීක සබඳතා සමීප මිත්‍රත්තවය සහ දෙරට අතර පවතින අන්‍යෝනය සබඳතාව මත පවතින බව කී ඒ මහතා එහිදි මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාව අතීතයේ පටන් නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කළා. භූ දේශපාලනයේදී. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී, ගෝලීය ආරක්ෂාව සම්බන්ධ කටයුතුවලදී මෙන්ම විශේෂයෙන්ම කලාපීය ආරක්ෂක සම්බන්ධ කටයුතුවලදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ පිළිවෙත අනුගමනය කළා. අපි කිසිදු අවස්ථාවකදී කිසිදු රටක් සමඟ සෘජු ආරක්ෂක හෝ හමුදා හෝ සබඳතා පවත්වා නැහැ. එහෙත් අපි විවිධ රටවල් සමඟ හමුදා සහයෝගය පවත්වාගෙන යනවා. අපි පොදු අගනාකම් සහ ලැදිකම් බෙදා හදා ගන්නවා. එමෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තිබෙන ආරක්ෂක සහයෝගීත්වය අන්‍යෝනය විශ්වාසය සහ මිත්‍රත්වය මත රඳා පවතිනවා” යැයි ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීය.

