නොටල්පිටිය ප්‍රා.සභා විපක්ෂනායකට ඇප


(නිමන්ති රණසිංහ)

ඉඩමක පිඹුරුපත් අනුමත කර ගැනීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියකට අදාළව දින 14ක් රක්ෂිත බාරයේ සිටි තංගල්ල නොටෙල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා  ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (29) නියෝග කළේය.

තංගල්ල නොටෙල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ විපක්ෂ නායක නානායක්කාරගේ කිත්සිරි මහතා මුදල් රුපියල් ලක්ෂයක සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදා හැරිණි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා සැකකරු එලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ අගුණකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් කර සිට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීය.  

තංගල්ල කහමෝදර ප‍්‍රදේශයේ පිහිටි තම ඉඩමක් විකිණීම සදහා එහි පිඹුරුපත් ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලවා අනුමත කරවා ගැනීමට සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලූ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීලි කර තිබුණේ සුනිල් අලූත්ගොඩ නැමැති ව්‍යාපාරිකයෙකු විසින් ඉකුත් 10 වැනිදාය.

සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් මස 21 වැනිදා තෙක් කල් තැබිණී.