දරුවකුට පහර දුන්නැයි පොලිසියට චෝදනා


( සිතුම් චතුරංග )

ගවයින් බලාගැනීමට ගොස් සිටි වවුනියාව , පේආඩිකුලම ප‍්‍රදේශයේ පිරිමි දරුවකුට (14) ඕමන්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බදාදා (30) පහර දෙනු ලැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පේආඩිකුලම ප‍්‍රදේශවාසීහු පවසති.

ඕමන්ත අරසමුරිප්පුකුලම් වැවේ සිටි ගවයින් නිවසට ගෙන ඒම සඳහා දරුවා සහ ඔහුගේ අට හැවිරිදි සොහොයුරා උත්සහ කිරිමේදී යතුරු පැදිවලින් පැමිණි සිව්දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙම පහර දීම කර ඇතැයි පහරකෑ දරුවාගේ දෙමාපියෝ පවසති.
 
“පිට ප‍්‍රදේශයට හා අත් , පාද සහ කොඳු ප‍්‍රදේශයට බරපතල ලෙස ඔවුන් පහරදීලා, දරුවාට දැන් නැගිටීමට අපහසුයි. ග‍්‍රාම සේවකතුමිය හා වවුනියාව පොලිස් නිලධාරීන් නිතර පැමිණ පවසනවා ළමයාට සුව බව පවසා නිවසට යන ලෙස. දරුවට අමාරු තිබෙද්දි කොහොමද අප රෝහලෙන් පිටව යන්නේ.ඕමන්ත පොලිසිය වෙත අප පැමිණිලි කරන්න ගියා නමුත් ඔවුන් අපේ නිලධාරීන් පහරදීමට සම්බන්ධ නැති බව පවසමින් පැමිණිල්ල බාරගැනීමට ප‍්‍රතික්ෂේප කළා.“ යැයි එම දරුවාගේ මව පැවසුවාය.

පහරකෑ දරුවා මේ වන විට වවුනියාව රෝහලේ හදිසි අනතුරු අංශයේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්. සිසිර කුමාර මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

“ඕමන්ත පොලිසියෙන් කියනවා පහරදීමක්වූයේ නැහැ කියා නමුත් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකෙරෙනවා.“යැයි ඒ මහකා කීය.