හර්ෂණ තුෂාර සිල්වා
තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවත්වාගෙන යෑමට නම් තොරතුරු ඉල්ලීම වැඩි කළ යුතු යැයි සංවර්ධන සන්නිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන මහතා කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී අද (12) ප්‍රකාශ කළේය.
සාමජ මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවකදී තොරතුරු පනතේ වැදගත්කම, සමාජ මාධ්‍ය ගැන කතාබහ කිරීම තරමක් උත්ප්‍රාසය දනවන්නක් බව ද හෙතෙම කීය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මහජනතාව වෙත ප්‍රවේශ වීමේ වැඩසටහන් සැකසීම පිළිබඳව පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීම යන මැයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවකදී ගුණවර්ධන මහතා එම කරුණු කීවේය.
එහිදි ඔහු මෙසේ ද කීය.
“මට කලින් අදහස් දැක්වූ මහත්මිය සමාජ මාධ්‍ය භාවිතය ගැන කතා කළා. සමාජ මාධ්‍ය භාවිත කරමින් තොරතුරු පනතින් වැඩ ගන්නා ආකාරය සමාජ මාධ්‍ය යහපත් අයුරින් භාවිත ගැන කතා කළා. එහෙත් මේ අවස්ථාව වනවිට ෆේස්බුක් සම්පූර්ණයෙන් අත්හිටුවලා. ඉන්ස්ටග්‍රම් වැඩ කරන්නෙම නැහැ.
වයිබර් වැඩ නැහැ. වට්ස්ඇප් පූර්ණ වශයෙන් වැඩ කරන්නේ නැහැ.
අපි තොරතුරු පනත සහ සමාජ මාධය ගැන කතා කරන්නේ එවැනි වාතාවරණයක් යටතේ. එය උත්ප්‍රාසය දනවන්නක්. මේ මෝඩ අමන තහනම හෙට අනිද්දාම ගලවාගන්න සිදුවේවි කියලා අපි හිතනවා. එහෙම වුණොත් අපිට මේ හිතන සැලසුම් හොඳින් කරන්න පුළුවන්.
ඒ වගේම මේ වගේ අවස්ථාවලදී මාධ්‍ය අමාත්‍යාංශය මේවා ගැන හඬ නගන්න ඕනේ. පිටස්තරයෙක් විදියට මට පේන දෙයක් තිබෙනවා. මේ තහනම පවත්වාගෙන යන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය නෙවෙයි.
ඊට ඉහළින් ඉන්න පිරිස් තමයි මෙය ක්‍රියාත්මක කරන්නේ. ආරක්ෂක අංශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඉහළින් ඉන්න පිරිසක් තමයි මේ දේවල් කරන්නේ කියලා පෙන්න තිබෙනවා.
තොරතුරු පනත ගැන කියද්දි මා නිරන්තරයෙන් කියන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ මාංශපේශී ශක්තිමත් අපි වැඩ කරන්න කරන්න. අනෙක සිංහල කියමනක්. “අඬන තරමට තමයි කිරි එරෙන්නේ”. තොරතුරු පනතේ සාර්ථකත්වය රඳා පවතින්නේ මේ කරුණු දෙක මත හොඳින් සිහි තබාගන්න.
ඉල්ලා අඬන තරමට තමයි තොරතුරු ලැබෙන්නේ. බැහැ කියන ඒවාට අභියාචනා ඉදිරිපත් කරන්න. ඉල්ලන්න ඉල්ලන්න තමයි තොරතුරු ලැබෙන්නේ.
ජ්‍යෙෂ්ඨයන් තොරතුරු පනත පැත්තකට දාලා තියෙද්දි තරුණ ජනමාධ්‍යවේදීන් තොරතුරු පනතෙන් වැඩ අරගෙන තිබෙනවා. ඒ නිසා සිවිල් සමාජය, මහජනතාව, මාධ්‍යවේදීන් වගේම අනිත් හැමෝවම තොරතුරු පනතට සක්‍රීයව දායක වෙන්න ඕනේ.
මේක පුරවැසියන්ගේ අයිතියක්. රටේ මිලියන 22කටම තොරතුරු ඉල්ලන්න පුළුවන්. ඒ නිසා තොරතුරු පනත රැකගන්න නම්, තොරතුරු පනතේ සක්‍රීයව පවත්වාගෙන යන්න නම්, තොරතුරු ඉල්ලන්න ඕනේ. තොරතුරු ඉල්ලීම වැඩි කරන්න ඕනේ” යැයි හෙතෙම කීය.
තොරතුරු දැනගැනීමේ පුරවැසි අයිතිය ජනතාව අතර ප්‍රචලිත කරමින් තොරතුරු ලබාගැනීමෙන් ඔවුන්ගේ දෛනික කටයුතු, තමන් ගෙවන මුදල්වලට සිදුවන දේ දැනගැනීමට හැකි බව, තමන්ගේ ගමේ ප්‍රශ්න විසඳාගත හැකි බව ජනතාවට කියාදිය යුතු යැයි මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා කීය.
තොරතුරු පනත සම්බන්ධයෙන් පූර්වාදශ නැති බැවින් තොරතුරු පනත සම්බන්ධයෙන් අප සිටිනුයේ අත්හදා බැලීම් අවස්ථාවක යැයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජගත් ලියනආරච්චි මහතා මෙහිද කීවේය..
එමෙන්ම තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ද ඔහු පැවැසීය.
මෙහිදි අදහස් දැක්වූ විජයානන්ද ජයවීර මහතා තොරතුරු කොමිෂන් සභාවේ තීන්දු තීරණ සිංහල බසින් ප්‍රකාශ කිරීමට හැකි නම් පනතේ ක්‍රියාකාරීත්වය පලදායීතාව පිළිබඳව දැනට වඩා වැඩි වශයෙන් ජනතාව දැනුවත් කළ හැකි බව කීවේය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා