ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ නඩු


(තිලිණි ද සිල්වා)
 
යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා  රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ   නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (29) වාර්තා කළේය.
 
මෙලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන දකුණු ඇමෙරිකා  රටවල් හි ක්‍රියාත්මක   දකුණු අප්‍රිකාව මූලික කරගත් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යපෘතිය ඇතුළු මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසිනි.
 
යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.
 
 නඩු පැවරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහා කර ඇති අතර බලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත් ඉරිදා (27) එරටින් පිටත්ව ගිය බවයි.
 
ජනරාල් ජගත් ජයසූරිය මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉකුත් 2015 වසරේදී  බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද  තානාපති මුක්තිය යටතේ කටයුතු කරනු ලබයි.