ගොවියකුගෙන් අල්ලස් ගත් ක්ෂේත්‍ර සහකරුට සිර දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)

ගොවියකුගෙන් රුපියල් 10,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වන ක්ෂේත‍්‍ර සහකාරවරයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කිරීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  අද (31) නියෝග කළේය.

ගොවිතැන් කිරීමට කැලය එළි කිරීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට මෙලෙස අල්ලස් ගෙන ඇතැයි අධිකරණයේදී ඔහු වරදකරු විය.

සිය රැකියාවේ බලය පෙන්වා අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් අල්ලස් ඉල්ලීම හා ලබාගැනීම සමාජයේ පිළිලයක් බවට පත්ව ඇති හෙයින් සෙසු අයටද පාඩමක් වන අන්දමට විත්තිකරුට දඬුවම් ලබා දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂක දුෂ්මන්ති රාජපක්‍ෂ මහත්මිය කළ ඉල්ලීමක් සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.

මීට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද අල්ලස් ලෙස ලබාගත් රුපියල් දසදහසක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කෙරිණ.

නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් වසර පහක සිරදඬුවමකටද ඔහු යටත් කළ විනිසුරුවරයා ඔහුට නියම කළ බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි කි‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.

මෙලෙස දඬුවම් නියම වුයේ හැටන් අඩවි වන කාර්යාලයේ රිලාගල බීට්ටුවේ වන ක්ෂේත්‍ර සහකරු ලෙස කටයුතු කළ සුනන්ද ප‍්‍රියදර්ශණ නමැත්තාටය.

චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණු අතර එක් චෝදනාවකට රුපියල් 5,000/- බැගින් චෝදනා හතරට රුපියල් 20,000/- දඩ මුදල්  නියම කෙරිණ.