ග්ලයිෆොසෙටි නැවත ලබා දීම අපේ වළ අපිම කපා ගැනීමක්‘- පී . හැරිසන්


ග්ලයිෆොසෙටි  නැවත ලබා දීමෙන් සිදු වන්නේ  අපේ වළ අපිම කපා ගැනීමක්. මම ග්ලයිෆොසේට් දෙනවට තදින්ම විරුද්ධයි‘  යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය  පී.  හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉපලෝගම පැවති ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහන එක් වෙමිනි.  මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,බොකු බඩවැල් දියවෙලා ගියත් කමක් නැහැ දැන් පොහොර ටික දීපල්ලා  කියල නේද කිව්වේ.සමහරු රැස්වීම් වල ඇවිල්ලා කිව්වේ  පොල් බෑ දෙක ගැනයි. ඒක පනහයි මේක පනහයි කියල.  බෑ දෙක සියය  වුනේ මොකක් නිසාද ? නියගය ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති වෙච්ච් නිසාද ?  රනිල් වික්‍රමසිංහ අගමැති වුන නිසාද පොල් සියයට ගියේ ?

අවුරුදු 2ක් අපිට වර්ෂාව නැහැ. කැබැතිගොල්ලෑව ,පදවිය ,හෙරොව්පතාන දිහාට නියගය තවම වර්ෂාව නැහැ. බොන වතුර ටිකට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිද්ධ වෙලා තියෙනවා බවුසර් අරන් වතුර බෙදන්න.

අපේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපලවල් 32ක පොල් ගස් හත්දහසක් මැරිල තියෙනවා.  මේ නියගයෙන් . වෙනදා අස්වැන්නෙන් භාගයයි ලැබිල තියෙන්නේ නියඟය හින්දා  .ඉතිරියෙන්  කොටසක්  වදුරො ,රිලව්,දඩු ලේන්නු කනව. ගම්පහ වගේ ප්‍රදේශවල ඉඩම් කට්ටි කර විකුණනකොට පොල් අස්වැන්න අඩුවෙලා. මේකට ආණ්ඩුව  පලි නැහැ.

ඒ වගේම තමයි නියගය නිසයි හාල් ගණන් ගියේ. වී මිල වැඩි කරන්න කියල ඉල්ලනව. වී මිල වැඩි කරන්න ඕන තමයි. වී මිල රුපියල් 50 ට වැඩි කළොත් හාල් දෙන්න  වෙන්නේ රුපියල් සියයට එහා.  ගොවියා ආරක්ෂා කරන්නත් ඕන. පාරිභෝගිකයා ආරක්ෂා කරන්නත් ඕන.

ඒ නිසා තමයි රජයක් හැටියට වී මිලදී ගන්න මධ්‍යස්ථාන 250ක් පමණ ආරම්භ කරල තියෙන්නේ  නමුත් අපිට වී එන්නේ නැහැ. මුදලාලිලට  වැඩි ගාණට යනවා.  ඒක තමයි වෙන්න ඕනෙ.  එහෙම වුනොත් තමයි අපිට ගොවියා ආරක්ෂා කර ගන්න  පුළුවන් වෙන්නේ. පෞද්ගලික අංශය දිරිමත් කිරීම වී අලෙවි මණ්ඩලයේ වගකීමක්.  එයින් ගොවියන්ගේ  වී අස්වැන්න ට  හොද මිලක් ලැබෙනවා.
මේ යල කන්නයේ ඉදල සෑම ගොවියෙකුටම රුපියල් 500 ගානෙ පොහොර  දෙන්න  අපි ලෑස්තියි.   ග්ලයිෆෙසේට් ගේනවට  මම පෞද්ගලිකව විරුද්ධයි.  මම කැමති නැහැ. බලා ඉද්ද්දී පොඩි දරුවො වකුගඩු රෝගය හැදිල මැරෙනවා දකින්න . පදවිය පැත්තේ එකම පවුලේ 7 දෙනාටම වකුගඩු රෝගය හැදිලා. අවුරුදු හයේ  හතේ දරුවන්ට වැලදිලා.  ඒ දෙමවිපියො මහ පොලවත් එක්ක හැප්පිල අන්තිම කාලේ දුක් විදල මැරෙනව දකින්න කැමති නැහැ.  හැබැයි මිනිස්සු ඉල්ලන්නේ ඒක. අපි මැරිල යයි නමුත් ඉදිරි පරම්පරාව ජීවත් වෙන්න ඕන.
දැන් අපි මේ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහන යටතේ කෘෂි උපකරණ ,කාර්මික උපකරණ , ස්වයං රැකියා උපකරණ  බෙදා දෙනවා. අපේ සමහර අය උදැල්ලක් දුන්නොත්  , පොහොර දුන්නොත් ඒක කඩේට විකුණල ගිනි වතුර බොනවා.  අපි මේ ලබා දෙන භාණ්ඩ  කවුරු හරි විකුණල තිබුනොත් ප්‍රාදේශීය ලේකම්තුමියගේ බලතල යටතේ ඒ විකුණපු අයට පොදු දේපල පනත යටතේ නඩු දාන්න ඕන යයිද පැවසීය.‘