හර්ෂණ තුෂාර සිල්වා
“තමා සාමාජිකත්වය දැරූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) කිසිදු තොරතුරක් කුමන පාර්ශවයකටත් දුන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය අද (7) පැවැසුවාය.
“ආරම්භයේ පටන්ම සුපිරිසුදු දේශපාලනයක නිරත වූ තමන්ට අපහාස කළ සියලූම මාධ්‍ය හා පාර්ශ්වවලට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නේ යැයි ද” රෝසි සේනානායක මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.
විදෙස් සංචාරයේ යෙදී සිටින අතරතුර ‘ලංකාදීපයට’ විශේෂ ප්‍රකාශයක් කරමින් රෝසි සේනානායක මහත්මිය එසේ සඳහා කළාය.
තමා සාමාජිකත්වය දැරූ කෝප් කමිටුවේ දෛනික කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් සිටි මාධ්‍යවේදීන් දැනුවත්ව සිටියද තමන් අවම වශයෙන් මාධ්‍යයටවත් කමිටු තොරතුරු නොදුන් බව ද රෝසි සේනානායක මහත්මිය අවධාරණයෙන් පැවැසුවාය.
“කෝප් කමිටුවේ කිසිදු වාර්තාවක් කුමන පාර්ශවයකට හෝ මා දුන්නේ නැහැ. අවම වශයෙන් මාධ්‍යයට හෝ දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් සිටි මාධ්‍යවේදීන් කෝප් කමිටුවේ දෛනික කටයුතු වාර්තා කළා. මා එවැනි ක්‍රියා මාර්ගවලට හෝ දායක වූයේ නැහැ. මා සාමාජිකත්වය දැරූ මුළු කාලය තුළම කෝප් කමිටුවේ කිසිදු තොරතුරක් කුමන පාර්ශවයකට හෝ නොදුන් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමැතියි. මට අපහාස වන අයුරින් මාධ්‍යවල පළවු සියලු වාර්තා ප්‍රතික්ෂේප කරනවා. එවැනි වාර්තා පළ කිරීම ගැන අතිශය කනගාටු වෙනවා. මගේ දේශපාලන චරිතයට කැළලක් වන අයුරින් මාධ්‍යවල පළවු වාර්තාවලට එරෙහිව දිවයිනට පැමිණි වහාම උපරිම නීතිමය පියවර ගන්නවා.
මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් මගේ පුතා ගැන ද කියැවී තිබුණා. එහිදි මගේ පුතා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණේ තෙවැනි පාර්ශවයක් ලෙසයි. මාධ්‍ය සඳහන් කර තිබූ ආකාරයට අදාළ දුරකතන සංවාදයට මගේ පුතාගේ කිසිදු සෘජු සම්බන්ධයක් සඳහන් වී නැහැ. කෝප් කමිටුවේ තොරතුරු මාධ්‍යට හෝ කිසිදු පාර්ශවයකට හෝ නුදුන්නා සේ මගේ පුතාටවත් කිසිදු තොරතුරක් මා දුන්නේ නැහැ. මගේ පුතා මගෙන් එවැනි තොරතුක් ඉල්ලා ද නැහැ. මේ සම්බන්ධයෙන් මට එල්ල වන චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ සම්බන්ධයෙන් උපරිම අයුරින් නීතිමය පියවර ගන්නවා” යැයි ද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

