කුඩා විදුලි බලාගාරයකින් ලොකු ලූනු වගා යටවෙයි


( කාංචන කුමාර ආරියදාස )
 
විදුලි බලාගාරයක අක්‍රමවත් ඉදිකිරීම් නිසා දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු වගාවන් ජලයෙන් යටවී ඇති බවත් අක්කර සිය ගණනක් යටවෙමින් පවතින බවත් ගොවීහු පවසති.

ඉබ්බන්කටුව නවාගස්හින්න  ප්‍රදේශයේ ලොකු ලූනු වගාව මෙසේ යටවෙමින් පවතින අතර මේ වනවිටත් අස්වනු නෙලමින් පවතින හා අස්වනු නෙලීමට ආසන්න ලොකු ලූනු වගාවන් ද ජලයෙන් යටවී තිබේ.

ඉබ්බන්කටුව ජලාශය උපයෝගී කරගෙන කුඩා විදුලි බලාගාරයක් ඉදිකරමින් පැවතිය අතර ගොවින් පවසන්නේ ගොවි බිම්වලින් බැසයන වතුර ක්‍රමවත් ලෙස බැස යෑමට නොහැකි සේ එහි කටයුතු සිදු කර ඇති බවයි.

එහි වැඩ අවසන් නොකිරීම නිසා තම වගා බිම්  මෙලෙස ඊයේ (01) ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ජලයෙන් යට වූ බව ද ඔවුහු පවසති.

විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු මුණ ගැසීමට ගොවීන් පිරිසක් එම ස්ථානයට ගියද කොන්ත්‍රාත්කරු හෝ ඉංජිනේරුවරයා එහි නොසිටි අතර එහි සේවකයකු පැවසුවේ බලධාරීන් වෙනත් කාර්යාලයක සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගෙන් කළ විමසීමකදී පැවසුවේ අඩුපාඩුවක් සිදුව ඇති බවත් තමන්ට මේ අවස්ථාවේ කතා කිරීමට අපහසු බවත් ය.පසුව ඇමතුමක් ගන්නා ලෙස දැනුම් දුන් ඉංජිනේරුවරයා දුරකථනය විසන්ධි කළේය.

තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා දඹුල්ල පොලිසියට යන බවත් සිදු වූ පාඩුව එම විදුලි බලාගාර හිමිකරුවන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බවත් ගොවීහු පවසති.