( කාංචන කුමාර ආරියදාස)
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර කිරි ගොවීන්ට අලෙවි කළ කිරිදෙනුන් මිය යාමෙන් හා හඳුනා නොගත් රෝගයකට ගොදුරුවීමෙන් කිරි ගොවීන් නට්ටං වී ඇතැයි ලංකා කිරි ගොවිපළ සම්මේලනය චෝදනා කරති.
ගවයන් මිලදී ගත් ව්‍යාපාරිකයෙක් පසුගියදා දඹුල්ල ප්‍රදේශයේ දී මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා අවසාන ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අනතුරු දායක තත්ත්වය පිළිබඳව රජයට දැනුම් දුන්හ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, ලංකා කිරි ගොවිපළ සම්මේලනය, ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කිරි ගොවිපළ හිමිකරුවන්ගේ සංගම් විසින් මෙම මාධ්‍ය හමුව පවත්වන ලදී.
පවතින තත්ත්වය යටතේ ඉලක්ක ගත කිරි ප්‍රමාණය අහිමි වීමෙන් ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දුන්හ.
එක් එළදෙනෙක් සඳහා ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ඉතිරි ලක්ෂ දෙකහමාරක මුදල රජය දරමින් ගවයන් පන්දහසක් පමණ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර බෙදා දුන් බවද ඔවුහු කීහ. පෞද්ගලික ආයතන දෙකක් සහ රජය එක්ව මෙම සතුන් ගෙන් වූ බවත් මේ ගවයන්ගෙන් වෙනත් සතුන්ට රෝග බෝවීමේ අවදානම මෙන්ම කිරි කර්මාන්තය කඩා වැටීමේ අවධානමත් ඇතැයි මෙම සංවිධාන පවසති.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කීවේ, භයානක රෝග කාරක සහිත කිරිදෙනුන් මෙරටට ගෙන්වා තිබෙන බවත් අති විශාල මුදලක් මෙම ව්‍යාපෘතිය හරහා වංචා වී තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය ලිඛිත සාධක මේ වන විට විගණකාධිපතිවරයා විසින් රජයට ලබා දී තිබෙන බවත් කීය. එමෙන්ම මෙම කිරි ගවයන් ගනුදෙනුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරන බවත් වෙනම අධිකරණය ක්‍රියාමාර්ගයක් ගැනීමට තම සංවිධානය මේ වන විට සූදානමින් සිටින බවත් සඳහන් කළේය.
ලංකා කිරිගොවිපළ හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත මනතුංග මහතා කියා සිටියේ, මෙම සිදුව ඇති මහා පරිමාණ වංචාව පිළිබඳව රජයේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවයි.
ඔවුන් කරුණු රැසක් පිළිබඳව රජයේ අවධානය යොමු කළේය. ණය ආපසු ගෙවීමේ සහන කාලය පොලිය ගෙවීමකින් තොරව අවුරුදු 3 ක් දක්වා දීර්ඝ කිරීම, අවුරුදු 2 කින් පසුව පොලිය පමණක් ගෙවා කිරි ගොවිපළ නඩත්තු කරගෙන යෑම, අවුරුදු 5 කින් පසු ණය සහ පොලිය ගෙවීම ආරම්භ කිරීම අවුරුදු හතක් දීර්ඝ කිරීම, ණය ගෙවා අවසන් වනවිට මුළු කාල සීමාව අවුරුදු 12ක් දක්වා සහනයක් ලබාදීම, එම කිරි ගොවිපළ දැනට පත්ව ඇති අසීරුතාවයෙන් ගොඩගැනීම සඳහා කිරි දෙනුන් වෙනුවෙන් ගෙවූ රුපියල් ලක්ෂ 2 ක මුදල ආපසු ගොවිපළ හිමිකරුවන්ට ලබා දීම, පුද්ගලික ආයතනය විසින් කිරි ගොවිපළවලට නව සතුන් ලබාදීම, කිරිදෙනුන් වෙනුවෙන් ලබාදෙන සාන්ද්‍ර ආහාර මිල අධිකවීම නිසා පත්ව ඇති අර්බුදය, පොරොන්දු වූ පරිදි රජය සතු ඉඩම් තෘණ වගාව සඳහා ලබා දීම, කිරි ලීටරයකට රුපියල් 85ත් 92ත් අතර මිලක් ලබා දීම, ආනයනික කිරිපිටි සඳහා පනවා තිබූ රුපියල් 225 ක බද්ද ලෝක වෙළඳපළේ කිරිපිටි මිල බැසීම නොතකා රුපියල් දෙකක් වැනි අවම මිල මට්ටමකට අඩු කිරීම යන කරුණු පිළිබඳව රජයට අවධානය කරන බව සභාපතිවරයා සඳහන් කළේය.
කිරි ගොවි ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු කියා සිටියේ මේ වන විට ව්‍යාපාරිකයන් සියලු දෙනාම දැඩි අසීරුතාවයකට පත්ව සිය දේපළ ගේදොර වතුපිටි සියල්ල බැංකුවලට සින්න වන තත්ත්වයට පත්ව ඇති බවයි. එමෙන්ම ගොවිපොළවල සිටින දෙනුන් විශාල පිරිසක් හඳුනා නොගත් රෝගයකින් මිය යන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් මහාපරිමාණ ආයෝජකයකු වූ එස් . සූරියගේ මහතා මෙසේ පැවසීය.
" මගේ ගොවිපළේ කිරි ගවයින් විසි එක් දෙනෙක් මැරුණා. මේකට හේතුව තමයි පෞද්ගලික වෙලාඩ් කියන ආයතනය පශු වෛද්‍යවරුන්ගේ සහයෝගය අපට ලබා නොදීම. ඒ වගේම ඒ ගවයන්ට තිබුණ ලෙඩ රෝග. මම ආයෝජකයෙක් හැටියට රුපියල් මිලියන 125 ක් වියදම් කළා. දැන් මම බැංකුවට ණයකාරයෙක් බවට පත් වෙලා. මට බැංකුවට කියන්න බෑ ගෙවන්න බැහැයි කියලා. මේ වෙනකොට මගේ දේපළ ඉඩකඩම් බැංකුවට සින්න වෙන්න යන්නේ."
"රජය කරන්නේ වේලාඩ් කියන පෞද්ගලික ආයතනයක් මුල්කරගෙන ඕස්ට්‍රේලියාවේ තැන් තැන්වල විසිරි ඉන්න සතුන් එකතු කරලා අතිවිශාල මුදලක් රජයෙන් වියදම් කරලා අපෙනුත් මුදල් අරගෙන ලෙඩ සත්තු අපට ගෙනත් දෙන එක මේ අය ව්‍යාපාරිකයන්ගේ සියලු මුදල් අරගෙන දේශීය කිරි කර්මාන්තය නගා සිටිනවා කියලා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක තමයි නිරත වෙලා ඉන්නේ."
"එක හරකෙකුට රුපියල් ලක්ෂ දෙක වගේ ගෙවල මම හරක් 200ක් ගත්තා. මේ අයට හිතාගන්න බැරි ලෙඩ රෝග ඒවගේම කිරි නෑ මගේ ගවයන් විසි එක් දෙනෙක් මැරුණා. මගේ හරක් පැටවු විතරක් 157 මැරුණා. හැබැයි කිසිම කෙනෙක් මේ ගැන හොයල බලන්නවත් එන්නේ නැහැ. රජයට මේක කොච්චර කිව්වත් පලක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි තව ටික දවසයි බලන්නේ බරපතළ තීන්දු රැසක් අපි ගන්න පසුබට වෙන්නේ නෑ."
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත ඉන්දික නානායක්කාර මහතා.
"මෙම සතුන් මෙරටට ගෙන්වීමේදී රජයේ පසු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපි යම් යම් නිර්දේශ මේ ආයතනවලට ඉදිරිපත් කළා හැබැයි කිසිම ආයතනයක් කොයිම වෙලාවකවත් අපි නිර්දේශ බාරගත්තේ නැහැ. අවධානය යොමු කළේ නෑ. මේ ගවයන් ගෙන්වීමේදී අඩුම තරමින් පරීක්ෂණයකට ලක් කරන්නේ නැතිව තමයි ගෙනාවේ. අපි දීපු නිර්දේශ පිළිගත්තේ නැහැ. පසුව අපිව විශ්වාස නැති නිසා එංගලන්තයට යැව්වා. මේ සතුන්ගේ කොටස් පරික්ෂා කරන්න අවසානයේදී එම පරීක්ෂණාගාර වලිනුත් වාර්තා වෙලා තිබුණා බරපතල රෝග සහිත තමයි මේ රටට ගෙන්වලා තියෙන්නේ කියලා. මේ නීතිය නොතකා රටට ගෙන්වූ සතුන්ගෙන් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. දැන් තවත් ගවයන් පහළොස්දාහක් මේ රටට ගෙන්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි රජයට යෝජනා කර සිටියා මේ සතුන්ගේ තත්ත්වය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන තුරු මේ සතුන් ගෙන්වීම නවත්තන්න කියලා. හැබැයි ඒකට අමාත්‍යංශය පුද්ගලික ආයතන ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඔස්ට්‍රේලියාවෙන් තැන් තැන් වල ඉවත් කරන සත්තු පෞද්ගලික ආයතන හිමිකරුවන් ගිහිල්ලා එකතු කරලා තොග පිටින් ලංකාවට පටවනවා මේක බරපතළ ප්‍රශ්නයක්."
කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා.
" ලංකාවේ කිරි කර්මාන්තය විනාශ කිරීමේ උපක්‍රමශීලි වැඩපිළිවෙළක් මේක. ආණ්ඩුවට මේ තරම් කියලත් පිළිගන්නෙ නැහැ. දැන් ඇස්පනාපිට ඔප්පු වෙලා තියෙනවා ලංකාවේ නැති බරපතළ රෝග සහිත සත්තු ගෙනාවා කියලා. ගැබ් ගන්නේ නැති සත්තු ගෙනාවා කියලා. ඉපදෙන පැටියා මැරෙනවා කියලා. මේ වෙනකොට විශාල පිරිසක් මැරිලා ඉවරයි මෙරට නඩත්තු කරන්න බැහැ කියලා ගොවීන් ඔප්පු කරල තියෙනවා. ඇයි මේ බරපතළ ප්‍රශ්නයක් යද්දී තවත් හරක් ගෙන්නන්න යනවා. ඇමතිවරයා අහන්නෙත් නැත්නම් කැබිනට් මණ්ඩලය අහන්නෙත් නැත්තං බරපතළ තීන්දු තීරණ රැසකට ගොවීන් එක්ක යන්න සිද්ධවෙනවා. "