( විනීතා එම් ගමගේ )
කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50 %කින් කපා හැරීමට අමාත්‍යංශ පරිපාලනය ගෙන ඇති තීන්දුව වහාම අත්හිටුවා පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයාට අද (31) උපදෙස් දී ඇත.
මෙසේ අතිකාල සේවාවලින් 50%ක් කපා හරින්නැයි අමාත්‍යංශ ලේකම්වරයා විසින් බදාදා (30) අභ්‍යන්තර චක‍්‍රලේඛයක් නිකුත් කර තිබිණි. මේ බව මාධ්‍යවල පළවීමත් සමඟ අමාත්‍යවරයා මෙම චක‍්‍රලේඛය අත්හිටුවා ඇත.
මෙම අතිකාල කප්පාදුව තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුව ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා මින් ඉදිරියට මෙවැනි තීන්දු ගැනීමට පෙර තමන් දැනුම්වත් කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි එම අමාත්‍යංශයේ නිවේදනයක සඳහන් වේ.
කම්කරු අමාත්‍යංශය වැඩකරන ජනතාවගේ අයීතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක‍්‍රීයාත්මක අමාත්‍යංශයක් බව පවසන අමාත්‍යවරයා එම අමාත්‍යංශයේම සේවකයන්ට හිමි වරප‍්‍රසාදයක් කප්පාදු කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද පවසයි.
අමාත්‍යංශයේ සේවකයන්ට අතිකාල සහ ගමන් වියදම් ගෙවීමට වෙන් කර ඇති මුදල් ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවන්නේ නම් භාන්ඩාගාරයෙන් අමතර ප‍්‍රතිපාදන ලබාගෙන හෝ අමාත්‍යංශයේ වෙනත් වියදම් සඳහා ඇති අරමුදලකින් හෝ සේවකයන්ට හිමි එම දීමනා අඛන්ඩව ගෙවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

