කපුවන්ට බලපෑම් කරන්න බස්නායකට බැරිලු


චාමින්ද දිසානායක

දේවාලයේ පාරම්පරික කටයුතු කරන කපුමහත්තුරුන් හා සෙසු නිලයන්ට  බලපෑම් කිරිමට වසර පහකට වරක් පත්වන  බස්නායක නිළමේවරයාට  කිසිම බලයක් නැතැයි සමස්ත ලංකා ඓතිහාසික දේවාල පාර්ම්පරික නිලධාරින්ගේ සංගමයේ සභාපති හා අම්මඩුව කුඩා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ඩි කේ ඒ ඩබ් කේ ජයතිලක දේවගිරි මහතා සදහන් කරයි.

පූර්ව නඩු තීන්දුවල පවා ඒ ගැන සඳහන් වන බව ඒ මහතා පවසයි. දේවාලයේ පාරම්පරිකව පැවැත එන සම්ප්‍රදායන්ට සහ සිරිත් විරිත් වලට ගරු කරමින් දේවාලයේ නිත්‍ය රාජකාරි කටයුතු සියලු දෙනා සමඟම සහයෝගයෙන් කටයුතු කිරිම   දේවාල භාරකාරු හෙවත් බස්නායක නිළමේගේ වගකීම යැයි ද ජයතිලක මහතා කියයි.

ජයතිලක මහතා එම අදහස් පළ කළේ මේ දිනවල කතරගම ප්‍රධාන දේවාලයේ උද්ගත වි තිබෙන තත්වය පිලිබඳව   අදහස් දක්වමිනි .

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජයතිලක දේවගිරි මහතා මෙසේද කීවේය.

“විහාරදේවාල ආඥපනතේ  4/1 වගන්තිය යටතේ පාලනය වන දේවාල 32 ක් ලංකාවේ තිබෙනවා . මේ දේවාල වල ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා අතීතයේ සිට රාජකාරි පංගු ක්‍රමය යටතේ පරම්පාරා පත් කර  තිබෙනවා. මොහොට්ටාල නිලමේවරු, විදානේ වරු, ලේකම්වරු, කපු නිලමේ වරු ආදි වශයෙන් පිරිස් ඉන්නවා.  දේවාලයේ අභ්‍යන්තරික කටයුතු මෙහෙයවමින් අනිකුත් රාජකාරි පංගුකරුවන් සමඟ සම්ප්‍රදායන් සහ පුද පුජා  සිරිත් විරිත් මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකිම පැවැරී තිබෙන්නේ  කපු නිලමේ වරැන්ට. ඒ නිසා තමයි ඇතුලු කට්ටලයේ ප්‍රධානියා ලෙස කපුමහත්මයා සලකන්නේ.

ඒත් වර්තමානය වන විට ඇතැම් බස්නායක නිළමේවරුන් මේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් පස්සට දාල දේවාලයේ කපුමහත්තයාගේ රාජකාරිත් කරන්න යනවා . සමහර බස්නායක නිලමේවරුන් ඇතුලු කට්ටලයේ ප්‍රධානකමත් ඉල්ලනවා .බස්නායක නිලමේ වරයා අවුරැදු 5 කට වරක් පත් වෙන්නේ . මොහු දේවාලයේ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රධායන් පිළිබද ව දේවලයට ආවම තමයි ඉගන ගන්නේ .  ‘‘