ඒකාබද්ධයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ හිටපු මන්ත්‍රී මියයයි


( අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

උඩවළවේ දී පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ රැස්වීමක පිළිගැනීමේ කතාව කළ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී වසන්ත ගමගේ මහතා සිය කතාව කතාව අවසන් කර සුළු වේලාවකට පසු ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා මිය ගියේය.

පවිත‍්‍රා වන්නිආරච්චි, ටී. රංජිත් සොයිසා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පොදුජන පෙරමුණේ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා සඳුදා (28) එම රැස්වීම පැවැත්විණි.
 
මෙම රැස්වීම සංවිධානය  කර තිබුණේ ද මියගිය වසන්ත ගමගේ මහතා විසිනි.

පිළිගැනීමේ කතාව අවසන් කර එළියට පැමිණි ගමගේ මහතා “ගෑස්ටික් වැඩිවූණා.යෝගට් දියර එකක් බොන්න යමු“යැයි මිතුරකුට පවසා අසල වූ වෙළෙඳසැලකට යාමට පිටත්ව තිබේ. එහෙත් ඔහුගේ වේදනාව වැඩි වීමත් සමග ඔහු නැවතී ඇති අතර මිතුරා වහා වෙළෙඳසැලට ගොස් ආපසු එන විට වෙනත් පිරිසක් වසන්ත ගමගේ මහතා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රැගෙන යනු ලැබ තිබේ.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් තිබූ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසුවේ ය.