එජාප මහ ලේකම්ට පැෆරල් සංවිධානය තුති පුදයි


පළාත් පාලන ඡන්දයේදී අපේක්ෂකයින් තෝරා ගැනීමේදී යම් නිර්ණායක ප්‍රමාණයක් සලකා බැලීමට තීන්දු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාට ස්තූතිය පළ කරමින් පැෆරල් සංවිධානය ලිපියක් යවා ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී යම් නිර්ණායක ප්‍රමාණයක් සලකා බැලීමට තීන්දු කොට ඇති බවත් එහි අරමුණ සමාජ විරෝධී පුද්ගලයින් දේශපාලන ක්‍රියාවලියට පිවිසීම වලක්වා වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ආරම්භයක් ගැනීම බවත් පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කබීර් හෂීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශංසා කරමින් එම ලිපිය නිකුත් කර ඇති අතර වගකිව යුතු සිවිල් සංවිධානයක් මෙන්ම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් ලෙසද මෙවැනි ඉදිරිගාමී ප්‍රවේශයක් කරා යොමුවීම පිළිබඳව තම ප්‍රණාමය පලකරන බව එහි සඳහන් වේ.

‘‘2015 මාර්තු 12 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් මාර්තු 12 නිර්ණායක වලට එකගතාවය පලකරමින් අත්සන් කරන ලද අතර එකී අනුකූලතාවය ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරීත්වයක් කරා යොමුවීම ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බව අප විශ්වාස කරමු‘‘ යැයි ද එහි සඳහන් වේ.

පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.