උදයංග වීරතුංගගේ පෙත්සම ඔක්තෝබර් 19 වැනි දා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)


තමාට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 19 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.

මෙම පෙත්සම  බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ  සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරු මඩුල්ල විසින් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තබන ලදී.

පෙත්සම ඉකුත් 08 වැනිදා කැඳවූ අවස්ථාවේදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ,එම බැංකු ගිණුම් සියල්ල පරීක්ෂා කර බැලීම සඳහා තවත් කාලය අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ දැනට අත්හිටුවා ඇති පෙත්සම්කරුගේ එම ගිණුම් වලින් මුදාහැරිය හැකි බැංකු ගිණුම් තිබේද යන්න විමසා බැලීමට මෙලෙස කල් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඇල්.රත්නපාල මහතා ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.