උතුරේ ඒඑස්පී කෙනකුගෙන් ස්ථානාධිපතිට බලපෑම්


සිරාජ් හසීම්

පොලිසියට බලපෑම් එල්ල කරමින් නීති විරෝධී ක්‍රියාවන් සඳහා අනුබල දෙන පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්  ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට  උතුරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු කරන ලදැයි කියන බලපෑමක් මත  ඔහු සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු අතර ගැටම්කාරී තත්වයක් හටගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගියදා මෙම උසස් පොලිස් නිලධාරියා නීතිවිරෝධී ක්‍රියාවන්ට ආධාර අනුබල දෙන පුද්ගලයින් දෙදෙනා සහ විදේශයේ සිට මෑතක පැමිණි පුද්ගලයා සමගින් සිය නිල නිවසේදී බීමත්ව සිට ඇති අතර මේ අවස්ථාවේදී මොවුන් තිදෙනාට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට   මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර තිබේ. එම නීති විරෝධී නියෝගය ගැන උරණ වී ඇති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම නිලධාරියා රාජකාරියට බාධාවන අන්දමින් අනිසි නියෝග දෙන බවට සටහනක් තබමින් සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට රාජකාරී සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. මේ හේතුව මත තමන් හා බීමත්වූ සමීපතමයින් තිදෙනා සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සිය රථයෙන්ම නංවාගෙන නිවස් කරා ගෙන ගොස් දමා ඇත.

එමෙන්ම  මෑතකදී විදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු සිය මවට ලබාදී තිබූ ලක්ෂ පනහක මුදල හා සොයුරියට දී තිබූ රන් පවුම් 30 නැවත එම නිවසට ගොස් තමන්ට ලබාදෙන ලෙසට සහකාර පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන් පොලිසියට නියෝග කළ අතර එම පොලිසියේ පැමිණිල්ල බාරව කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණ නියෝගයකින් තොරව එවැන්නක් සිදුකළ නොහැකි බව කියමින්  එම නියෝගය ප්‍රතික්ෂේප කර තිබුණි. මෙහිදී උසස් පොලිස් නිලදාරියා ‘මම තමුසෙ ගැන ඉන්ස්පෙක්ෂන් දවසට  බලාගන්නම්‘ යැයි තර්ජනය කර ඇත.