කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාජකාරියේ නිරත ආගමන හා විගමන නිලධාරියකුගේ ජංගම දුරකතන දෙකක් සොරා ගත් බව කියන ඉන්දියානු ජාතිකයන් තිදෙනකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ ආගමන හා විගමන බලධාරීහූ අද (26) පියවර ගත්හ.
සිකුරාදා (25) රාත්‍රියේ දී ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් චෙන්නායි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් නිතර ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් බව කියැවේ.
ඔවුන් එම සොරකම කිරිමෙන් පසු වහාම රේගු පර්යන්තයට ගොස් ඇත.පසුව මේ පිළිබඳව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු CCTV කැමරා පද්ධතිය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉන්දියානු ජාතිකයන් දුරකතන සොරාගන්නා ආකාරය අනාවරණය කරගෙන තිබේ.
පසුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පසු රේගුවේ භාණ්ඩ නිෂ්කාශනය කරමින් සිටි ඔවුන්ව හඳුනා ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතනද සොයා ගෙන ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් අදාළ ඉන්දියානු ජාතිකයින් තිදෙනා රඳවා තබාගෙන ආගමන හා විගමන නිලධාරින්ට භාර දී ඇති අතර ඔවුන් අසාදු ලේඛන ගත කර වහාම මෙරටින් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

