ආඳැල්ලේ නායයෑමකින් රත්නපුර - වේවැල්වත්ත මාර්ගය අවහිර වෙයි


අජිත්ලාල් ශාන්තඋදය


ආඳැල්ල  ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් 09දා සවස සිට රත්නපුර සිට මල්වල හරහා වේවැල්වත්ත මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

නායයාමෙන් ජීවිත හානි වාර්තා වී නැතත් එක් නිවාසයක් යටවී ඇති බවට වාර්තා වී ඇතැයි ද රත්නපුර වේවැල්වත්ත බී391 මාර්ගයේ  කොටසක් මෙසේ නාය ගොස් ඇති බව ද පොලීසිය කියයි. මාර්ගය සංවර්ධනය කිරීමේ දී ඉවුරු කැපීම හේතුවෙන් මෙම නායයන්නට ඇතැයි පොලීසිය සැකකරයි. වසවස තුනට පමණ මෙම සිදුවීම වවී ඇති බව පොලීසිය කියයි.

‘පාරක් පේන්න නෑ. පල්ලහා වත්තක් පස්වලින් වැහිලා. ගස් ඇලවෙලා. තවත් නායයමින් තියනවා.’ සිද්ධිය වූ තැන සිටි සිටි කෙනෙක් පැවසීය.

දෙහෙනඇල්ල සහ අමුණුතැන්න ප්‍රදේශයේ ද නායයාමේ තර්ජනය තදින්ම ඇතිබවට පොලීසිය අනතුරු අඟවයි. මේ නායයාම හේතුවෙන් වේවැල්වත්ත මෙන්ම ගලබඩ සහ රත්ගඟ ප්‍රදේශයට ද ගමනාගමන කටයුතු ඇණහිට තිබේ. පවතින වැසි නිසා නායයාමේ අවදානම වැඩි නිසා ඒ හරහා පයින් හෝ ගමන් කිරිමට කිසිවෙකුටත් ඉඩනොදීමට පොලීසිය පියවර ගෙන ඇත.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ද සිද්ධිය වූ ස්ථානයට ගොස් ආරක්‍ෂක කටයුතු තර කරන ලෙස උපදෙස් දුන්නේ ය.