අල්ලස් ගත් පානදුර මහානාමයේ විදුහල්පතිනියට සිර දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)

පාසලක හයවැනි වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වැරදිකරුවු පානදුර මහානාම විදුහලේ විදුහල්පතිනියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 8ක සිරදඬුවමක් අද(29) නියම කළේය.

යහපත් පුරවැසියන් බිහි කිරීමට දරුවකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා අල්ලස් ඉල්ලීම හා ලබාගැනීම සමාජයේ පිළිලයක් බවට පත්ව ඇතැයි විත්තිකාර විදුහල්පතිනියට දඬුවම් නියම කරමින් පැවැසූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරියට නියම කළ බරපතල වැඩ සහිත වසර අටක සිරදඬුවම වසර හතරක කාලයක් තුළ ගෙවී යන පරිදි කි‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.

පානදුර මහානාම විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ නදීකා පීරීස් එසේ වැරදිකාරිය කෙරුණු අතර  2009 නොවැම්බරයේ දී පානදුර මහානාම විදුහලේ හයවැනි වසරට සිසුවකු ඇතුලත් කර ගැනීමට අල්ලසක් ඉල්ලූ බවට චෝදනා දෙකක් යටතේ අල්ලස් කොමිසම විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.