අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලයි


(සිරාජ් හසීම්)

ආරක්ෂක හමුදාවන්ට බාරවීමෙන් හා පැහැරගැනීම්වලින් අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගත යුතු බවත් ඒවාට සම්බන්ධ පිරිස් නීතිය ඉදිරියට පමුණවා අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරලිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

හෙට(30) වැනිදා ට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මේ බව සදහන් කළේය.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන් වෙනුවෙන් ද තවත් ජාත්‍යන්තර දිනයකට මුහුණ දීමට සිදුව තිබීම ශෝකයට හා  කණගාටුවට කරුණකි.  බලහත්කාරයෙන්  අතුරුදහන්  කිරීම්වලට ගොදුරු වූ ජනතාව දහස් ගණනක් මේ රටේ සිටිති.  

පසුගිය වසර කිහිපය පුරාම අතුරුදහන් කරනු ලැබුවන්ගේ පවුල්වල අය විසින් අප රටේ විවිධ ප්‍රදේශවලදී සාමකාමී උද්ඝෝෂණ පවත්වා ඇත. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඔවුහු තවමත් අඛණ්ඩ උද්ඝෝෂණවල නියැලෙමින් සිටිති.  ඔවුන් සෑම දෙනාම ඉල්ලා සිටින්නේ, තම ආදරණීයයන්ට සිදු වූ දෙය පිළිබඳව සත්‍යය අනාවරණය කරන ලෙසයි.  සන්නද්ධ අරගලය වසර අටකට ඉහත දී නිමා වුවද, අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුවට මේ වන තුරුම සතුටුදායක ලෙස සාකච්ඡාවට ලක් කර නොමැත.

ලොව පුරා ඇති, තම සාමාජික රටවල් ගණනාවකටම මෙය බරපතල ගැටළුවක් බවට පත් වෙමින් පවතින බැවින්, 2010 දී පවත් වන ලද එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී, ඔවුන් විසින් සම්මත කරගනු ලැබූ යෝජනාවක් මඟින් මේ සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් වන බව දක්වා ඇත.  ශ්‍රී ලංකාව තුළ සිටින අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයට තම ආදරණීයයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරලීමටත් ඔවුන් පිළිබඳ සත්‍යය දැන ගැනීමටත් ඇති අවස්ථාව වසර ගණනාවක් තිස්සේ අහිමි කර තිබීම පිළිබඳව සඳහන් කිරීමට ලැබීම කණගාටුදායකයි.

මෙම වැදගත් කාරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.  ආරක්ෂක හමුදා වෙත භාර දෙනු ලැබූ අයට, පැහැර ගනු ලැබූ අයට හා අතුරුදහන් කරනු ලැබූවන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව ජනතාව දැනගත යුතුය.  එය ඔවුන්ට ඇති අයිතියකි.  මෙම මූලික අයිතිවාසිකම පැහැර හැරිය නොහැක.  එමෙන්ම, වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවීමටත්, ඒවාට ගොදුරුවූවන්ට යුක්තිය ඉටු කරලීමටත්, අනාගතයේදී මේ රට තුළ සිදුවන බලහත්කාරයෙන් කරනු ලබන අතුරුදහන් කරවීම් වළක්වාලීමටත් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට අපි රජයෙන් ඉල්ලා සිටිමු.

තවද, මේ රටේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙසටත්, මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දී ඇති පොරොන්දු ඉටු කරවීමටත් කටයුතු කරන ලෙසටත් අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.“