(සිරාජ් හසීම්)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගත් බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා ලංකාදීපයට පැවසීය.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මත ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් නිසා මෙම තීරණය ගත් බවද නාජිම් මහතා කියයි.
බදාදා (30) ඇති වූ මේ ගැටුමෙන් සිසුන් 19 දෙනකු අක්කරෙයිපත්තුව රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඉන් කිහිප දෙනකු අද (31) උදෑසන වන විට ප්‍රතිකාර ගෙන පිටව ගොස් තිබේ.
ගැටුමට සම්බන්ධ බවට හදුනාගත් සිසුන් 13 දෙනකුට මසක සරසවි තහනමක් පැනවූ බවත් මීට සම්බන්ධ තවත් සිසුන් 15 දෙනකුට චෝදනා පත්‍ර ලබාදී විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් උපකුලපතිවරයා පැවසීය.
තාක්ෂණ පීඨයේ නේවාසිකාගාරය තුළට කඩාවැදුනු 200ක පමණ ඉංජිනේරු සිසූන් පිරිසක් තාක්ෂණ පීඨ නේවාසිකාගාරයේ රැදී සිටි සිසුන් 70 දෙනෙකුට පමණ පහරදී නේවාසිකාගාරයේ දේපලවලටද හානි කර ඇති බවට විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.
මෙම ගැටුමට පෙම් ආරවුලක් සහ පෞද්ගලික ආරවුල් කිහිපයක්ම තුඩු දී ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.
ඉංජිනේරු පීඨයේ සියලුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත්ව යන ලෙසට නියෝග කර සරසවි භූමිය තහනම් කලාපයක් බවට පත්කළ බව උපකුලපතිවරයා කියයි.
එම සිද්ධියෙන් පසු ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා තාක්ෂණ පීඨයේ සහ නේවාසිකාගාරවල රැඳී සිටීම අද (31) උදෑසන 06 සිට ක්‍රියාත්මකවන පරිදි තහනම් කළ බව ද උපකුලපතිවරයා පවසයි.
කළමනාකරණ පීඨයේත් සෙසු පීඨවලත් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවත් පීඨවල විෂය දේශන සදහා සහභාගී නොවන සිසුන්ට ඉදිරියේදී සරසවි නීති පද්ධතියට අනුව කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ පරිපාලනාධිකාරිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර අක්කරෙයිපත්තුව පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

