‘ආලින්දය’ සහ ’මලපහ’


දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යාස්ථානයන්හි ජනමාධ්‍ය පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයා ප්‍රායෝගික පුහුණුව අත්කර දීමේ අරමුණ පෙරදැරි කරගෙන පුවත්පත් ආයතන මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී ආයතන කරාද පිටත්කර යැවීමය. එය ප්‍රශස්ත ක්‍රියාවකි. මක්නිසාද යත් මෙරට විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන ජනමාධ්‍ය විෂය නිර්දේශයන්හි තවමත් න්‍යායික පක්ෂය මිස භාවිත පක්ෂය අවිද්‍යමාන හෙයිනි. ජනමාධ්‍ය විෂය හුදු ප්‍රායෝගික විෂයක් වීම ඊට ප්‍රධාන හේතුවයි.

එහෙත් මෙහිදී ඔබේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන්නේ අප රට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අංශයන්හි දක්නට ලැබෙන එම ප්‍රායෝගික අංශ භංගය කෙරෙහි නොවේ. එම ප්‍රායෝගික අංශයේ ජීවය වන ප්‍රබල ප්‍රකාශන සාධකය කෙරෙහිය. එය අන් කිසිවක් නොව භාෂාවකි. පුවත්පත නමැති මුද්‍රිත මාධ්‍යය මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී විද්‍යුත් මාධ්‍යය තුළද කාර්යයෙහි නිරත මාධ්‍යකරුවා තමා ලත් න්‍යායික ඥානය ප්‍රායෝගික වශයෙන් උපයෝගී කර ගැන්මේදී ඔහු පාඨකයා, ශ්‍රාවකයා හා ප්‍රේක්‍ෂකයා සමග ඒකාත්මික කරවන සන්නිවේදන ඥානය වන්නේ භාෂාව මිස අන් කුමක්ද? එය කාට නම් බැහැරලිය හැකිද?

මෙහිදී එක් වැදගත් කරුණක් හෙළි කිරීම වගකීමක් කොට සලකමි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික වූත් මුද්‍රිත – විද්‍යුත් මාධ්‍ය ආයතන කීපයකම අංශ ප්‍රධාන කෘතහස්ත මාධ්‍ය විද්වතුන් කීප දෙනකුම මම ඉතා කුලුපගව ඇසුරු කරමි. ඔවුන්ගෙන් එක සේ අසන්නට ලැබෙන මැසිවිල්ලක් ඇත. එනම් ප්‍රායෝගික පුහුණුව සඳහා විශ්වවිද්‍යාලවලින් තම ආයතන වෙත එවන ජනමාධ්‍ය උපාධි පාඨමාලා හදාරන විද්‍යාර්ථීන් භාෂා කුසලතා හීනයන් බවයි. ඔවුන්ගෙන් වෙනත් කුසලතා ප්‍රකට වන හෙයින් ඔවුන් මුග්ධයන් නොවිය හැකි බවත් එහෙත් ඔවුන් භාෂා දග්ධයන් වූයේ කෙසේද යන්න සොයා බලා ඊට පිළියම් කිරීම ජාතික වගකීමක් බවත් ඔවුන් එකා මෙන් මා සමග පවසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙය කිසිසේත් අසත්‍යයක් නොවන බව මවිසින් මෙහෙයවනලද ගුවන් විදුලි හා රූපවාහිනී පාඨමාලාවේ ප්‍රායෝගික පුහුණුව පතා පැමිණි ඇතැම් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය උපාධි අපේක්‍ෂක ජනයාගෙන් ඉඳුරා පසක්ව ගියබව මෙහිලා නොවළහා පවසනු කැමැත්තෙමි.

භාෂා කුසලතා හීනයන් වත්මන් ජනමාධ්‍ය සේවයට පිවිසීම නිසා ඇස් පනාපිට සිදුවූ විපරීත භාෂා භාවිතයක් ගැන එක්තරා ප්‍රසිද්ධ වචන දෙකක් පමණක් නිදසුන් කොටගෙන කරුණු පහදා දීමට සිතුවෙමි. ඒ වචන දෙකෙන් එකක් ‘ආලින්දය’ යන්නයි. ‘ආලින්දය’ යන වචනය පාලි සහ සංස්කෘත යන භාෂා දෙකෙහිම හමුවෙයි. එය සිංහලට පැමිණ ඇත්තේද ඒ දෙබස ඔස්සේය. ‘ශබ්දාර්ථ රත්නාකරය’ හෙවත් ‘සිංහල මහා අකාරාදිය’ එහි අර්ථය දක්වන්නේ ‘ගෙයි ඉදිරි පැත්තේ ශාලාව’ යනුවෙනි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයද එය ‘පිල’, ‘ඉස්තෝප්පුව’ හා ‘බරාදය’ ලෙස හඳුන්වයි. ‘සිංහල මහා ශබ්දකෝෂයද’ එම අරුත්ම ප්‍රකාශ කරයි. ‘ඉස්තෝප්පුව’ යන්න ලන්දේසි භාෂාවෙන් ගෙයි ඉදිරිපස ශාලාව හඳුන්වන නාමයයි. එයම හැඳින්වීම සඳහා ඉංග්‍රීසියෙන් භාවිත වන Varenda යන්නෙන් ව්‍යවහාරයට පැමිණියකි. ‘බරාදය’ යන වචනය අපේ පැරණි ගද්‍ය ග්‍රන්ථයක්වන ‘බුත්සරණ’ ඇතුළු සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පොත්වල හමුවන මෙම ‘ආලින්දය’ වචනය නියතාර්ථයෙන්ම භාවිතයට ගෙන ඇත්තේ ගෙයි ඉදිරිපස කොටස හැඳින්වීම සඳහාමය. මේ බව නොදත් හෝ වැරදි ලෙස දැනගත් කවුරුන් හෝ භාෂා භ්‍රෂ්ට මාධ්‍ය අන්ධයෙකු ‘ආලින්දය’ යන්න ‘ඉස්තෝප්පුව’ නොව ‘සාලය’’හැඳින්වීම සඳහා තොර තෝංචියක් නැතිව භාවිතයට ගැනීමෙ අනිෂ්ට ප්‍රතිඵලයක් හැටියට දැන් ‘ආලින්දය’ යන්න සාලය යන අර්ථය ප්‍රකාශක පර්යාය ශබ්දයක් වශයෙන් තහවුරුව ගොස් ඇත. එය ව්‍යවහාර භාෂාවේ ස්වභාවයකි.

ඡේකයන්ගේ මෙන්ම අඡේකයන්ගේ වාක් ප්‍රයෝගද නිරන්තර භාවිතයෙන් ජන සම්මත බවට පත්වෙයි. සිදත් සඟරාවෙහි එන ‘වහරනු සෙරෙන් සපයා’ යන්න නියම ලෙස අර්ථවත් වන්නේ ‘අනුරූ සේ පියෝනන්’ යන්න සමඟ එකට ගත් කලක යන්න ඉඳුරා තහවුරු කිරීමට මේ දුර්භාවිතය ප්‍රත්‍යක්ෂ සාධකයක් වෙයි. ‘අනු රූ සේ පියෝනන්’ යන්නෙහි තේරුම ඡේකයන්ගේ (භාෂා විශාරදයන්ගේ) ප්‍රායෝගික හෙවත් යෙදුම් අනුව යනුයි. ‘ආලින්දය’ යන්න අඡේක භාෂා අන්ධයෙකු අනුව භාවිතයට ආවකි. හෙළ බස් කෙළපත් එකම සිළුමිණව ඉන්නෙමි මම්ම වේදැයි ගර්විත ඇතැම් සිංහල මහැදුරෝ සිදත් සඟරාවෙහි එන මේ අත්‍යවශ්‍ය ‘අනුරූ සේ පියෝනන්’ යන්න තම ගොදුරු ලොබ පතා සිතා මතාම පිටු දකිති. සිංහල භාෂා භාවිතය උගතුන්ගේ යෙදුම් අනුව මිස නූගතුන්ගේ යෙදුම් අනුව නොකිරීම කොතරම් වැදගත්ද යන්න මාධ්‍ය විද්‍යාර්ථීන් මෙමගින් නියත ලෙස වටහා  ගනිතියි සිතමි.

අපි ඊළඟ වචනය දෙසට හැරෙමු. එය මල යන වචනයයි. ‘මල’ හා ‘මළ’ යන දෙවිදියටම එය ලියැවේ. ‘ල’ හා ‘ළ’ වෙනස අනුව අරුත වෙනස් වෙයි. ‘මල’ යන වචනය තේරුම් දෙකක් දෙයි. එකක් ‘කුසුම’ හෙවත් ‘පුෂ්පය’ යන්නය. අනෙක ‘අසූචි’ හෙවත් ‘අපිරිසුදු දේ’ ය. ‘මළ’ යනු ‘මර’ නමැති ක්‍රියා මූලයේ අතීත කෘදන්තයයි. ‘මැරුණු’ යන අරුතෙහි වැටේ. මේ කිසිවක් නොදන්නා ඇතැම් මාධ්‍ය භාෂා භ්‍රෂ්ටයෝ ‘මල’ හෙවත් ‘අසූචි’ හැඳින්වීම සඳහා සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක සාකච්ඡාවලදී ‘මලපහ’ යන වචනය දැන් නිතර භාවිතයට ගනිති. කලින් සිංහල වහරේ පැවතියේ ‘මල පහ කරනවා’ යන ක්‍රියා ප්‍රයෝගයයි. ‘පහ කරනවා’ යනු ‘බැහැර කරනවා’ යන අර්ථය දෙන්නකි. ‘මල’ යන්න ‘පහ’ යන්න ඇඳා ‘මලපහ’ යන්නක් ‘අසූචි’ වචනයේ සමාන වචනයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ මාධ්‍ය දග්ධයා ඊට උපදෙස් ලබා ගත්තේ කවර හෙළ බස් වෙසරද මහැදුරු මුග්ධයෙකුගෙන්ද යන්න කෙසේ දැන ගනුම්ද?

(***)