යුද්ධවලට තෝතැන්නක් වූ මැදපෙරදිග කලාපය නැවතත් ඉතා බිහිසුණු මහා පරිමාණයේ යුද්ධයකට මුහුණ දී සිටී. එය තීරණාත්මක තත්වයකි. ගෝලීය බලකේන්ද්‍රය හොබවන බටහිර බලාධිකාරය පැහැදිලිවම තීන්දුවකට එළැඹ ඇති බවක් තිරසරවම පෙනීයයි.
ඒ දැනට මැදපෙරදිග ඉතිරිව සිටින තම එකම සතුරා වන ඉරානයේ ඉරණම තීන්දුකිරීමට ඊශ්‍රායලය හා ප්‍රධාන අනුග්‍රාහකයා වන අමෙරිකා එක්සත් ජනපදය පියවර ගනිමින් සිටින බවක් පෙන්නුම් කෙරේ. ‘‘නැගි සිටින සිංහයා” යන කේත නාමයෙන් හඳුන්වනු ලබන මෙහෙයුම, අප ඉහතින් සඳහන් කළ අරමුණු සාක්ෂාත් කරගැනීමේ ක්‍රමවේදය ලෙස පෙන්වා දිය හැක. ඉරානය ගිනි තබනවා. ඒ ඊශ්‍රායලය මෙහෙයුමේ මුල් අවස්ථාවේදීම කළ තර්ජනයයි. ‘‘ඊශ්‍රායලයට අපාය පෙන්වනවා” ඒ ඉරානය කළ තර්ජනයයි. කියු පරිදිම ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් නගරයේ තෙල් ගබඩාව පහරදී ගිනි තැබීය. එය මේ දක්වාම ඇවිළෙමින් පවතී. ඉරානයද ඊශ්‍රායලයට මිසයිල වැසි වස්වමින් සිටී. ඉරානයේ ටෙහෙරාන් නගරයේ මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේද උතුරා යන්නේ යුද බියයි. ඉරාන ජනතාව තම ජීවිත පිළිබදව දැඩි අවිනිශ්චිතභාවකින් පසුවෙති. ඊශ්‍රායල් ජනතාවද හැකිතාක් දුරට ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස්කරගෙන භූගත බංකර්වල ආරක්ෂාව පතා දිවි ගෙවති. දෙරටේම ගුවන්තොටුපළ වසාදමා ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් විශේෂයෙන් සැළකිලිමත් වන්නේ යුද්ධයට මැදිවුණ රටවල සිටින තම විගමනික සේවක ප්‍රජාවේ ආරක්ෂාව ගැනය. මැදපෙරදිග පමණක් නොව සමස්ත ලෝකයම අවිශ්චිත හා අස්ථාවරත්වය පිළිබද බියමුසු හැඟීමකින් වෙළීගොස් ඇත. එය මැදපෙරදිග යුද්ධවල වීශේෂයකි. ඒ අරාබිය ආශ්‍රිත මැදපෙරදිග කලාපය ලෝකයේ ඛණිජතෙල් බලශක්ති කේන්ද්‍රය හා සංවර්ධන වෙමින් පවතින රටවල වෘත්තිකයන්ට රැකියා සපයන මෙන්ම සංවර්ධිත රටවල ආයෝජන හා ව්‍යාපාර සදහාද ඉතා වැදගත් වන කලාපයක් බැවිනි. “ඉරානයේ මොකද වෙන්නේ - ඊශ්‍රායලයේ මොකද වෙන්නේ “ යැයි මගතොටදි හමුවන අය පවා ප්‍රශ්න කරන්නේ එබැවිනි. මෙය ගෝලිය ප්‍රශ්නයක් වී ඇති බව සක්සුදක් සේ පැහැදිළි වන්නේ අප අතරම ජීවත් වන අපේ ජනතාව ඊට දක්වන සංවේදිතාව නිසාය.
නැගෙන සිංහ ගර්ජනාව
ජුනි 13 වැනි සිකුරාදාට එළිවෙද්දී ඉරානය මහා ව්‍යසනයකට මුහුණ දුන්නේය. ඉරානයේ අගනුවර ඇතුළු ස්ථාන 6 ක දරුණු පිපිරිම් හටගත්තේය. බෝමබ හා මිසයිල වැසි වසින්නට පටන් ගත්තේය. සිදුවන දේ පැහැදිළිය. ඉරානයේ දරුණුම සතුරා නිහඬවම එළිපත්තට පැමිණ තිබිණ. ඒ කෙසේද? ඉරානය යනු මැදපෙරදිග කලාපයේ විකල්ප බල කේන්ද්‍රයකි. ලෝකයේ ෂියා මුස්ලිම් ආගමිකයන්ගේ කේන්ද්‍රස්ථානය මෙන්ම මුලස්ථානය ලෙසද සළකනු ලබන්නේ ඉරානයයි. ෂියා මුස්ලිම්වරුන් බහුල සිරියාව, ඉරාකය, දකුණු ලෙබනනය, යේමනය හා ගාසාතීරය ඉරානය සමග විශේෂ බැදීමකින් පසුවූ අතර, ඉරානය එම රටවල හා බිම්තීරවල පාලකයන්ගේ හා සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකයා විය. මේ නිසා ඉරානයට මැදපෙරදිග කලාපය තුළ පැවතියේ සුවිශේෂ වැදගත්කමකි. මේ තත්වය ඉරානය උදාකරගත්තේ එරට පැවති බටහිර ළැදි පෙහ්ල්වි ෂා රජුගේ පාලනය 1979 වසරේදී ඉරාන ඉස්ලාමිය විප්ලවයෙන් අවසන් කර ෂියා මුස්ලිම් පූජක ප්‍රජාව වන අයතොල්ලාවරු ඉරානයේ බලය අත්පත් කරගැනීම හා ඉන් පසු ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත්කිරීමෙනි.
ඒ සමගම එතෙක් ඉරානයේ පැවති කඳවුර වෙනස් විය. බටහිර මිතුරකු වූ ඉරානය ඉස්ලාමීය විප්ලවයත් සමග ක්ෂණිකව බටහිර සතුරෙක් විය. අමෙරිකාව සතුව තිබූ ෂා රජුගේ වත්කම් අත්පත් කරගැනීම සඳහා ටෙහෙරානයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපකරුවන් සේ අල්ලා ගැනීමට ඉස්ලාමිය පාලකයෝ උත්සුක වූහ. එම ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම ගල්ෆ් කාන්තාරයේ හෙළිකොප්ටර කඩා වැටී අසාර්ථක වූයේ ඉරානය තවත් බලවත් කිරීමෙන් හා වියට්නාම යුද්ධයෙන් බැටකා සිටි අමෙරිකාව තවත් පහතට ඇද දමමිනි. ඉරාන ප්‍රාණ ඇපකරු ප්‍රශ්නය දෙවසරකට ආසන්න කාලයක් පැවති අතර, එය අමෙරිකානු ජනාධිපති ජිමි කාටර්ගේ පාලනයේ අවසානය සනිටුහන් කිරීමට හා ඔහු ජනප්‍රියත්වයෙන් හීන නායකයකු බවට පත් කිරීමට හේතුවිය.
ඉරානය තම සාම්ප්‍රදායික සතුරා ලෙස සැළකුවේ අමෙරිකාව නොව ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය බිහිකිරීමට මුල්වූ යුදෙව්වරුන්ගේ සයොන්වාදී මූලධර්ම ප්‍රතික්ෂේප කළ ඉරානය, එම මූලධර්මය මත පදනම් වූ රටක් ලෝකයේ නොතිබිය යුතු බව දැඩි ලෙස විශ්වාස කළේ නිරතරුව ඊශ්‍රායලයට මරණය යන සටන්පාඨය මතුරමිනි.
ඉස්ලාමිය විප්ලවයෙන් පසු ඉරානයේ දැඩි සමාජ පරිවර්තනයක්ද ඇතිවිය. බටහිර පන්නයට හැඳ පැළඳ බටහිර ජිවන රටාවට හුරුවී සිටි ඉරාන වැසියන්ට වහා ඉස්ලාමීය සංස්කෘතික අංග වැළදගැනීමට සිදුවිය. එය ප්‍රතික්ෂේප කළ පිරිසට ඉරානය හැර යාමට සිදුවිය. ගවුම් කලිසම් ඇදි ඉරාන කාන්තාවට ඉස්ලාමිය කාන්තා ඇදුමෙන් හා හිජාබ් හිස් පළදනාවෙන් සැරසීමට සිදු වුවද ඒ යුගයේ ඉරාන කාන්තාවන්ගෙන් ඊට විරෝධයක් නොවිය. ෂා රජු යටතේ ඉරානය බටහිරට ඇදි ගිය වේගය ගැන බොහෝ ඉරාන වැසියන්ට බියක් තිබුණේ ඔවුන් නව යටත්විජිතවාදයේ හා නිරවී යුද්ධයේ ගොදුරක් වනු ඇතැයි යන බිය මුසු උපකල්පනයද නිසාය. ඒ තුළ ඉරානයේ අයතොල්ලාවරුන්ට ඉස්ලාමිය ජනරජය ගොඩනැගීමට අවශ්‍ය ජනබලය නිර්මාණය වී තිබිණ. ඉරානය ඉස්ලාමිය පාලනය යටතේ වුවද විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රවලින්ද, ඛණිජතෙල් අලෙවිය නිසා (ලොව දෙවැනි ප්‍රධාන තෙල් නිෂපාදකයා ලෙස) ආර්ථික ක්ෂේත්‍රයෙන්ද ඉදිරියට පැමිණ තිබිණ.
බටහිර සංකල්ප අනුව ඉරානය යනු සංවෘත රාජ්‍යයකි. ළදරු ඉස්ලාමිය ඉරානයට රිදෙන ටොක්කක් ඇනීමට බටහිර බලවතුන්ට හැකිවූයේ අසල්වැසි ඉරාකයේ එවකට සිටි පාලකයා වූ සදාම් හුසේන් දේශසීමාවේ තෙල් සම්පත් බහුල ෂට් අල් ඇරැබ් ඇළ මාර්ගයේ අයිතිය මුල්කරගනිමින් 1981 වසරේදී ඉරානය සමග යුද්ධයක් ආරම්භ කිරීමත් සමගය. අමෙරිකාව හා සෙසු බටහිර බලවතුන් එදා ඉරානයට එරෙහිව සදාම් හුසේන් වටා පෙළ ගැසුණු අතර, සදාම් ඉරානයට රසායනික අවිවලින් පහර දෙද්දී පවා ඇස් කන් පියා සිටීමට උත්සුක විය. 1988 යුද්ධය අවසන් වූයේ ඉරානයේ හමුදාවේ දෙලක්ෂයකට අධික පිරිසකට හා සාමාන්‍ය වැසියන් 600000 කට අධික පිරිසකට දිවි අහිමි කරමිනි. ඉරාක හමුදාවේ 150000ක් හා සාමාන්‍ය වැසියන් 500000 මියගොස් තිබිණ. එය මැදපෙරදිග පැවති වඩාත්ම විනාශකාරි යුද්ධවලින් එකකි. පසුව සදාම් අමෙරිකාවේ හතුරකු වූයේ 1991 කුවේටය ආක්‍රමණය කිරීමත් සමගයි. යුද්ධයෙන් පසු සමයේ ඉරානය තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, 1991 ඉරාකය හා බටහිර රටවල් අතර පැවති පළමු ගල්ෆ් යුද්ධය හා 2003 අමෙරිකාවේ ඉරාක ආක්‍රමණයෙන් සදාම් හුසනේගේ පාලනය අවසන් කිරීම යන සිද්ධින්වලදී පවා ඉරානය අනුගමනය කළේ ඊට මැදිහත් නොවීමේ නිහඬ පිළිවෙතකි. ඉරාක ගුවන් හමුදාවේ තිබූ නවීනතම මිග් 29 ජෙට් යානා රැගෙන ඉරානයට පළා ආ ගුවන් නියමුවන්ට ඉරානයේ රැකවරණ හිමිවීමේ සිද්ධිය හැරුණු කොට වෙනත් ක්‍රියාකාරි මැදිහත්වීමක් එම යුගයේදී දක්නට නොලැබිණ.
ඉරානය න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීම
බලශක්ති උත්පාදනය සඳහා ඉරානය න්‍යෂ්ටික ශක්තිය යොදාගත්තේ 1950 දශකය තරම් ඈත වකවානුවකදීය. එහෙත් ඉස්ලාමිය විප්ලවයෙන් පසු න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩිනම් කෙරිණ. ඉරාන ඉරාක යුද්ධයෙන් පසු යුගයේදී නතාන්ස් ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය ඉදිකර 2002 වසර වනවිට න්‍යෂ්ටික අවි තැනීමට අවශ්‍ය “යුරේනියම් බලගැන්වීම” යන තාක්ෂණය ශක්තිමත් ලෙස තහවුරු කරගැනීමට ඉරානයට හැකිවිය. එය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළේ මුල් පියවරක් බවට බටහිර ලෝකයෙන් චෝදනා එල්ල විය.
කෙසේ වෙතත් වරින් වර තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ බටහිර බලවතුන් සඳහා විවෘත කරන්නටත්, ඒ ගැන සංවාදයක් පවත්වාගැනීමටත් ඉරානයට හැකිවිය. ඉරානයද අන්තර්ජාතික රෙගුලාසි යටතේ එක්සත් ජාතින්ගේ පරමාණුක බලශක්ති ඒජන්සිය සමග සබඳතා පවත්වාගනිමින් තම න්‍යටික වැඩපිළිවෙළ වඩාත් විවෘත ලෙස පවත්වාගෙන යාමට ඉරානය උත්සුක වූ බවක් 2009-2014 වකවානුවේ පෙනේ. එහෙත් අවිශ්වාසය හා ප්‍රතිවාදී අදහස් පදනම් කරගනිමින් න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන ඉරානය තුළ හා බටහිර රටවල් තුළ පැවති අභිලාෂ වෙනත් මාර්ග කරා යොමුවීමේ වාතාවරණයක් නිර්මාණය විය. ඉරානයට මුහුණ දීමට සිදුවූ අනෙක් පසුබෑම නම් න්‍යෂ්ටික වැඩපිළිවෙළ නිසා එරටට එල්ල වූ ඇමෙරිකානු හා යුරෝපා සම්බාධක මාලාවයි. ඒ නිසා 1984 සිට මේදක්වා ඇමෙරිකාවෙන් හා යුරෝපා සංගමයෙන් ඉරානයට පනවා ඇති සම්බාධක නිසා එරට දළ දේශීය නිෂ්පාදිතයේ අගය සියයට 17කින්ද, අන්තර්ජාතික වෙළෙදාම සියයට 33 කින්ද පහත වැටි තිබිණ. අැමෙරිකානු සම්බාධක නිසා ඉරානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන ඛණිජතෙල් අලෙවිය නවතා දමා ඇත.
සතුරා තනි කිරීම
ඉහත සදහන් කළ අතීතයෙන් අප දුටුවේ ඉරානය බටහිරට සතුරකු වූයේ කෙසේද යන්න ගැනයි. ඉරානය දඩයම් කිරීමට බටහිරට අවශ්‍ය වූයේ ඇයි. මුලිකම හේතුව ඉරානය මේ වනවිට මැදපෙරදිග ඉතිරි වී ඇති එකම බටහිර විරෝධී බලකොටුව හා බටහිර විරෝධි කඳවුරක් නිර්මාණය කොට එහි නායකත්වය දැරීම නිසයි. ඉරානය නිසා බටහිරට හා ඊශ්‍රායලයට සතුරන් වූ හමාස්, හිස්බුල්ලා, ජිහාඩ්, හුති හා අමාල් වැනි සන්නද්ධ කණ්ඩායම් බිහිවී ඉරානයෙන් ඒවා පෝෂණය වූ බව නොරහසකි.
බටහිර විරෝධියකු බවට පත්වූ සදාම් 2003 යුද්ධයෙන් පසු පරලොව යැවිණ. අරාබි වසන්තයෙන් බටහිර විරෝධී ගඩාෆිට මහපාරේ මැරකල්ලිවලින් ගුටිකා මිය යාමට සිදුවිය. සිරියාවේ අසාද් යුද්ධයක පැටළිණ. හමාස් ගාසා තිරයට කොටුවිය. මේ අනුව නව ගෝලිය රටාව (New World Order) ට අනුගත නොවු කල්ලිය ක්‍රමයෙන් දුර්වල විය. රැළේ එකිනෙකා ඇදවැටෙද්දී ඉරාන මහ ඇතා අහේනිය මැද පවා නොසැලි පැවතිණ. දඩයමට පැමිණියේ මැදපෙරදිග සුපුරුදු උපායශීලි දඩයක්කරුවා වූ ඊශ්‍රායලයයි. ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රහාරයෙන් ගම්‍ය වන්නේ ඊශ්‍රායලය කොතරම් කල්යල් බලා ඉරාන දඩයමට සූදානම්වීද යන්නයි. ඉරානයට පහරදීමට ඊශ්‍රායලයට තිබූ ප්‍රධානතම ගැටලු වූයේ සිරියාව, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා, ගාසාහි හමාස් හා යේමනයේ හුති යන කල්ලිවලින් එල්ල විය හැකි ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයයි. ඒ නිසා ඊශ්‍රායලය සැලසුම් කළේ මුලින් වටේ සිටින ගෝලබාලයන්ට බැටදී ගුරා වෙත ළඟාවීමයි. ඊට ඊශ්‍රායලයට බුලත් දී ආරාධනා කළේ ගාසා තිරයේ හමාස් කල්ලියයි. ඒ 2023 ඔක්තෝම්බර් 7 වෙනිදා ගාසා තිරයේ සිට නිරිත දිග ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කොට ඊශ්‍රායල් භටයන් සාමාන්‍ය වැසියන් 1200ක් ඝාතනය කොට තවත් යුදෙව් වැසියන් 240ක් පමණ ප්‍රාණඇපකරුවන් ලෙස කුදලාගෙන ගාසා තිරයට රැගෙන විත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ ගොනුවු පැමිණිල්ලක් ප්‍රකාරව හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලයට පහරදෙමින් ගතකළ පැය කිහිපය තුළ කාන්තාවන් රැසක් දූෂණය කොට (මෙය අන්තර්ජාතික ආයතන කිහිපයක් විසින් නගනු ලබන චෝදනාවකි) ඊශ්‍රායලයට අභියෝග කරමින් සිදුකළ අසංවිධිකිත ප්‍රහාරය මගිනි.
එම අවස්ථාවේ හමාස් සංවිධානය හා එහි හිතවාදීන් හැසිරුණේ ඊශ්‍රායලය නම් නාගයාගේ හිසට දැවැන්ත පොලුපහරක් දී ඝාතනය කළ පරිද්දෙනි. එහෙත් ඇත්තටම හමාස් දී ඇත්තේ ඊශ්‍රායල් නාගයාගේ වලිගය අගට කෝටු පහරක් පමණි. නයා පෙනය පුම්බා පැන පැන දෂ්ට කරන්නට විය. ප්‍රහාරය මෙහෙයවු හමාස් ප්‍රධානි යහියා ෂින්වාර්, දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඇතුළු ඉහළපෙළේ හමාස් නායකයන් පිරිසක්ද මේ කිසිදේකට සම්බන්ධ නැති කාන්තාවන් හා ළමයින් ඇතුළු පලස්තින සාමාන්‍ය අහිංසක වැසියන් 55000ක් පමණද ඊශ්‍රායලය විසින් දඩයම් කරනු ලැබීය. අදත් ගාසාවට එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 30 දෙනෙකු පමණ මියගොස් ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
හමාස්ගෙන් නොනැවතී ඊශ්‍රායලය හිස්බුල්ලාද වෙනමම දඩයම් කිරීම ඇරඹීය. එහි නායක හසන් නස්රල්ලා ඇතුළු ප්‍රධානීන් රැසක් දින කිහිපයක් තුළ ඝාතනය කෙරුණු අතර, පණිවිඩ හුවමාරුව සඳහා පාවිච්චි කළ පේජර් යන්ත්‍ර එකවර පුපුරුවා හිස්බුල්ලා ප්‍රහාරක ජාලය බිම හෙළීය. ඒ අතර ඉරාන ළැදි සිරියාවේ පැවති බෂ්ර් අල් අසාද් පාලනය අවසන් වූයේ ඉරාන විරෝධි සුන්නි මුස්ලිම් සටන්කරුවන් රටේ බලය අත්පත් කරගැනීමත් සමගයි. අසාද් රුසියාවට පලාගියේ ඉරානයට හා රුසියාවට මැදපෙරදිග පැවති තවත් ක්ෂේම භූමියක් නැතිකරමිනි. යේමනයේ ඉරාන ළැදි හුති සටන්කරුවන්ට අමෙරිකාවෙන් හා ඊශ්‍රායලයෙන් දිගින් දිගටම පහර එල්ල වෙයි. ඒ නිසා ඔවුන්ද කොටුවී ඇත.
ගාසා යුද්ධය අතර තුර එනම් 2024 අප්‍රේල් මාසයේදී ඉරානය හා ඊශ්‍රායලය කෙටි කලක් තුළ මිසයිල හා ගුවන් ප්‍රහාර හුවමාරු කරගත්තත් අන්තර්ජාතික බලපෑම මත නිහඩ විය. එහෙත් කල්යල් බලමින් සිටි ඊශ්‍රායලයට ඉරාන දඩයමට අවස්ථාව පෑදුණේ ඊශ්‍රායල් හිතවාදි ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති ධුරටය දෙවැනි වරටත් පත්වීම නිසාය. ඊශ්‍රායලය නැගීටින සිංහ මෙහෙයුම දියත් කළේ මේ තුන්කල් බලා සුදුසු අවස්ථාව තෝරාගැනීමෙන් බව පැහැදිළිය. ප්‍රහාරයේ මුල් අවස්ථාවේදීම ඉරානයේ ගුවන් යානා නාශක මිසයිල ආරක්ෂා වැඩපිළිවෙළ විනාශ කෙරිණි. ඉරානයට එල්ල වන ප්‍රහාරවලදී එරටින් දැඩි ප්‍රතිරෝධයක් එල්ල නොවීම ඊට උදාහරණයකි.
ඊට අමතරව හමුදා මාණ්ඩලික ප්‍රධානියා හා විප්ලවිය බළකායේ හෙවත් ජනරජ බළකායේ ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානින් 22 ක් පමණ මුල් අවස්ථාවේදීම ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගොස් ඇතැයි බටහිර හා ඇතැම් ඉරාන ආරංචිමාර්ග තහවුරු කරයි. දැන් ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරන බවක් පෙනේ. ඉරානයද බොහෝ පාර්ශ්ව හිතු තරම් දුර්වල නැත. අයන් ඩෝම්, ඩේවිඩ්ස් ස්ලිංග් වැනි ගුවන් ආරක්ෂක පද්ධති අබිබවා ඊශ්‍රායලයේ නගරවලට මිසයිල පතිත කිරීමට හා සාමාන්‍ය වැසියන්ට හානි සිදුකිරීමට ඉරානය සමත්ව තිබේ. දිගුකාලින යුද්ධයකට සුදානම් බව ඉරානය කියයි. මැදපෙරදිග අමෙරිකානු බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා වෙත පහරදීමේ අනතුරු ඇඟවීමක් ඉරානය නිකුත් කර ඇත්තේ ඊශ්‍රායලයට සහාය දීමෙන් වළකින ලෙසට එම රටවලට දන්වා සිටීමක්ද සමගයි. ඒ ඉරානය බටහිර රටවල් සමග ගැටීමට ඇති ඉඩකඩද ඉහළ නංවමිනි.
ඉරානයේ තෙල් පහසුකම් ප්‍රහාරයට ලක්වෙද්දී ලෝක තෙල් මිලද ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනේ. යුද්ධය ආරම්භ වූ දිනයේදිම එනම් ඉකුත් සිකුරාදා ලෝක වෙළෙදපොළේ තෙල්මිල සියයට 8.9කින් වැඩිවිය. මේ සියලු අස්ථාවර තත්වයන්ගේ වින්දිතයන් අප වැනි කුඩා රටවල්ය. මේ එළැඹ ඇත්තේ ලෝකය දෙස වඩාත් විමසිල්ලෙන් නෙත් අයා සිටිය යුතු මොහොතයි.
(***)
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ