හෙළ සිනමා නිළි රැජින” ආචාර්ය මාලිනි ෆොන්සේකා නමැති විශිෂ්ට රූපණවේදිනිය පිළිබඳව එතුමියගේ අවමඟුල් උත්සවයේදී මහාචාර්ය සෞම්‍ය ලියනගේ පැවැසූ අදහස් මෙරට සිනමාවේ නියැළී සිටින්නවුන්ට මෙන්ම සිනමාව හදාරන අයට ද බොහෝ සේ වැදගත් යැයි අපට හැඟුණි. “රසවින්දන” නිතරම මෙරට සිනමාව පිළිබඳවත්, එහි නියැළී සිටින අයටත් බොහෝ සේ උදව් කරන්නේ, එහි සාධනීය තත්වයක් නිතරම අපේක්‍ෂා කරන බැවිනි. මහාචාර්ය සෞම්‍යගේ කතාවේ කොටස් අප පළ කරන්නේ, ඒ සාධනීය තත්වයට යම් රුකුලක් දීමේ අරමුණ ඇතුවය.
මාලිනි ෆොන්සේකා සිනමාවට ප්‍රවේශ වන්නේ ලාංකේය පශ්චාත් යටත් විජිත සමාජය ප්‍රොතෙස්තන්ත බුද්ධාගමත්, වික්ටෝරියානු ආචාර්යධාර්මිකත්වයත්, සමාජ සංස්ථිතියේ අඩිතාලම ලෙස පැවැති මොහොතකය. මෙවන් මොහොතක සිනමාව අර්ථ ගන්වා ගනු ලැබුවේ කලාත්මක ප්‍රකාශනයක් ලෙස නොව, පවතින ආචාරධර්මවලට ප්‍රතිපක්ෂ, සමාජ වටිනාකම් සෝදාපාලුවට ලක් කරන අවර ගනයේ භාවිතයක් ලෙසයි. එනිසාම මාලිනිය විසින් රචිත නිරූපණය කළ සිනමාව වූ කලී, ලාංකේය පශ්චාත් යටත්විජිත සමාජය සහ එහි උච්චාවචනයන්, දෘෂ්ටිවාද සහ ආචාරධාර්මික වටිනාකම් විපරිවර්තනයට ලක් වූ සිනමා ඉතිහාසයක් දරා සිටින සිනමාවකි. මේ අර්ථයෙන් මාලිනිය පිළිබඳව අප සිදු කරන සංවාදය යනු, එක් අතකින් ලාංකේය සිනමා සෞන්දර්යයේ යුගමය විපරිවර්තන ගවේෂණය කරන සංවාදයක් වන අතර, එය තවදුරටත් අධිපති සමාජ දේශපාලන දෘෂ්ටිවාදවල විතැන් වීමේ ඉතිහාසයක් ද සලකුණු කරයි.
මාලිනිය විසින් සිනමා තිරය මත චිත්‍රණය කළ චරිත සහ ඇයගේ රූපාකාරය විසින් දශක ගණනාවක් තිස්සේ ලාංකේය ප්‍රේක්‍ෂකයා මත මුදාහල චිත්තවේගී සහ සෞන්දර්යාත්මක ආවරණය සුළුපටු නොවේ. එය තොරක් නැතිව තවමත් ගලන මේ මහා ජන ගඟ සාක්‍ෂි දරයි. මේ භාවමය ආවරණය සහ ඇයගේ රංග කාර්යයේ ප්‍රමුධිත වූ රූපණ දේහබන්ධුතාව (embodiment of acting) හේතුවෙන් ඇය “සිංහල සිනමාවේ නිළි රැජින” ලෙස හුදී ජනයා අතර චිර ප්‍රසාදය දිනාගත්තාය. එහෙත්, ඇයට පැළඳු මේ කිරීටය විසින් ශ්‍රී ලාංකේය සිනමාවේ ඇයගේ රංග කාර්යසාධනයේ අද්විතීයත්වය ප්‍රමාණවත් ලෙස විචාරයට බඳුන් වූයේ ද යන්න අප විමසිය යුතු කරුණක් වන්නේය.
මාලිනියගේ චරිත නිරූපණය එක අතකින් ලාංකේය සිනමාවේ ප්‍රභූ සෞන්දර්ය අධිකාරිත්වයට අභියෝග කරන අතර, එම සිනමාව සහ ඇයගේ නියෝජනය විසින් දෘෂ්ටිවාදවල භූමිකාව මෙන්ම සංස්කෘතික නිර්මිතවල ස්වභාවය විශ්ලේෂණය කිරීමට ද අවකාශ සැලසේ. තවදුරටත් උක්ත මෙලෝ නාටක සිනමාව සහ මාලිනියගේ භූමිකා ගැඹුරු සංස්කෘතික මූලයන් ගවේෂණයට උපස්තම්භක වන අතර, ඒවා ලාංකේය සමාජයේ සංස්කෘතික, සමාජයීය මෙන්ම දේශපාලන ප්‍රකාශනයන්ගේ සාදෘෂ්‍යයන් ලෙස ද පෙනී සිටී. ඒ අර්ථයෙන් බලන විට, අප මෙතෙක් කල් අර්ථකථනය කර ඇත්තේ, විචාරය කර ඇත්තේ, මාලිනියගේ රංග කාර්යයට වඩා ඇය විසින් නිරූපිත චරිත රැගත් සිනමා පට සහ එකී සිනමාවේ සමාජ දේශපාලන ආවරණයයි. මෙය සිනමා අධ්‍යයනයේ ඓතිහාසික ගැටලුවකි.
මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා රංගවේදිනිය දශක හයකට නොඅඩු, ශ්‍රී ලාංකේය සිනමාවේ දීර්ඝ සහ අනවරත රංග චාරිකාවක නියැළී අපගෙන් සමු ගත්තාය. ලාංකේය සිනමාවේ නිළි රැජිනිය ලෙස ඇය විරුදාවලිය ලබා ඇත්තේ, ඇය විසින් මේසා දීර්ඝ සහ ගාම්භීර රංග ව්‍යායාමය රිදී තිරය මත චිත්‍රණය කිරීමේ අද්විතීය රංග පෞරුෂය නිසා බව විවාදයකින් තොරව අපට පිළිගත හැක. සුරූපි මුහුණක් දායාද කොටගත් මාලිනිය, ලාංකේය සිනමාවේ ආශාවේ වස්තුව පමණක් නොව දශක හයකට නොඅඩු කාලයක් තිස්සේ සිනමාවේ නිර්මිත විවිධ වූ චරිත නිරූපණය කළාය. මාලිනිය විසින් අප වෙත දායාද කොට ඇති ඒ සා විශාල වූ නිර්මාණ සමුච්චය හා ඇගේ සිනමා රංග කාර්යසාධනය ප්‍රමාණවත් ලෙස නැවත අධ්‍යයනයට බඳුන් කිරීම අද දවසේ අපට ඇය වෙනුවෙන් කළ හැකි මහඟු උපහාරයක් වන්නේය. ඇය විසින් අපට ප්‍රදානය කර ඇත්තේ, මහා අස්පර්ශ සංස්කෘතික දායාදයකි. එම අස්පර්ශ සංස්කෘතික දායාදය අප විසින් නැවත කැණීම් කොට පාදාගත යුතු, කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මානවවංශ විද්‍යා අවකාශයකි. එය පාදා ගැනීම සමකාලීන සිනමා විද්‍යාර්ථියාට මගහැරිය නොහැකි වගකීමක් වනු ඇත.
මගේ යෝජනාව වන්නේ, අප මාලිනියගේ සිනමා භූමිකාව තේරුම් කරගැනීමට නම්, නැවත ඇය රූපණ ශිල්පිනියක ලෙස මෙතෙක් චිත්‍රණය කර ඇති සිනමා භූමිකා ප්‍රතිසන්දර්භ කොට විමර්ශනයට බඳුන් කළ යුතු බවයි; ඇයගේ සිනමා රූපණයේ ඇයගේ දේහබන්ධු රූපණ විධික්‍රම (embodied performance approaches) අධ්‍යයනය කළ යුතු බවයි.
(*** මහාචාර්ය සෞම්‍ය ලියනගේ)