කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
තම පුත්‍රයාව රැගෙනයාමට උපකාරක පන්තියක් අසලට පැමිණි තරුණ කාන්තාවක එහිදී තමන් ආ කාරිය පසෙකලා ජංගම දුරකතනය ‘චැච්’ කරකර සිටීම නිසා සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් සියනෑවේ උප නගරයකින් පසුගිය දිනෙක අසන්නට ලැබුණි.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අනාවරණය වූ කරුණුවලට අනුව බාලවයස්කාරයකු වූ සිය පුත්‍රයාව නිවසේ සිට කිලෝමීටර් පහක පමණ දුරක් ඇති නගරයක පිහිටි පෞද්ගලික උපකාරක පන්තියකට සුපුරුදු පරිදි යතුරුපැදියෙන් කැඳවාගෙන ගොස් ඇත්තේ ද එම දරුවාගේ මව වන මෙම කාන්තාව විසින්මය.
එම උපකාරක පන්තියට දරුවන් රැගෙන එන මව්පියන් බොහෝ පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු නැවත දරුවා රැගෙන යාම සඳහා පන්තිය නිමවන තෙක්ම එහි නොසිට ආපසු නිවෙස්වලට යාම හෝ එසේ නැති නම් තම තමන්ගේ වෙනත් ගමන් බිමන් යාම හෝ නගරයෙන් ඉටුකරගත යුතු විවිධ කාර්යයන් සිදුකර ගැනීමෙන් අනතුරුව නියමිත වේලාවට පැමිණ දරුවන් රැගෙනයාම මෙහි සාමාන්‍ය දින චර්යාව වෙයි.
එසේ නොවන පිරිස් පන්තිය ඇරෙන තෙක්ම එකිනෙකා අල්ලාප සල්ලාපයේ යෙදීම හෝ එසේ නැති නම් හුදෙකලා වී සිය අත ඇති ජංගම දුරකතනය සමඟ ඇයි හොඳයිකම් පැවැත්වීම සිදුකරති.
ඒ අනුව දැඩි ලෙස ජංගම දුරකතනයට ඇබ්බැහි වූ බව කියන මෙම කාන්තාව ද පන්තිය නිමවන තෙක් කොහේවත් නොයා එහි සිටින කිසිවකුත් සමඟ ඇයි හොඳයියක් නොදක්වා හුදෙකලා තැනට ගොස් දුරකතනය සමඟ පයුරු පාසානම් පැවැත්වීම පුරුද්දක් වී ඇති තැනැත්තියකි.
කෙසේ වෙතත් වෙනත් දවස්වල නියමිත වෙලාවට ඇය තම දරුවා පන්තියෙන් රැගෙන ගොස් ඇති නමුත් මේ කියන දවසේ මෙම කාන්තාව දුරකතනයට කොතෙක් ඇබ්බැහි වී සිටියේ ද යත් දරුවාගේ පන්තිය නිමවී බොහෝ වේලාවකටත් පසුව එහි සිටි තරුණියක ඇයට කතා කර කරුණු කාරණා විමසනතෙක්ම තමන්ට දරුවා ගැන කල්පනාවක් තිබී නැත.
මෙහිදී කලබලයට පත්වී ඇති කාන්තාව වහාම තම පුතා ගැන විපරම් කර ඇති බවත් නමුත් ඒ වනවිටත් ඇගේ පුතා පමණක් නොව සියලු දරුවන් හා ඔවුන් රැගෙන යාමට එහි පැමිණෙන මව්පියන් කිසිවකුත් පෙනෙන්නට සිට නැත.
එහිදී වඩාත් කලබලයට පත් කාන්තාව තමන් පැමිණි යතුරුපැදියෙන්ම පන්ති ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයෙන් ඉවත්ව මග දෙපස බලමින් හිමින් සීරුවේ ඉදිරියට යමින් සිටිය දී ඇයට දුරකතන ඇමතුමක් ලැබී ඇති බවත් එම ඇමතුම ලබා දී ඇත්තේ ඇය සොයන තම පුත්‍රයා බවත්ය.
‘‘අම්මෙ ඔයා කොහෙද. ඔයා ආවේ නැති නිසා මම යාළුවකුගේ අම්ම කෙනෙක් එක්ක ගෙදර ආවා.’’ පුතා එසේ කියද්දී මව හොඳ හුස්මක් ගෙන ‘‘හරි පුතා මම මේ ළඟ ඉක්මනට එනවා’’ යැයි කියා වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇත.

