කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්
මත්පැන් පානය කළ පුද්ගලයකු මංගල සාදයකදී ගීතයකට අනුව රංගනයක් ඉදිරිපත් කිරීමට ගොස් ජනතාව ඉදිරියේ දැඩි අපහසුතාවකට පත් වූ පුවතක් දකුණු පළාතේ උප නගරයකින් වාර්තා විය.
නිරන්තරයෙන් විනෝදයෙන් කල් ගෙවූ මැදි වියේ පසු වූ පුද්ගලයකු වූ ඔහු පසුගිය දා තම හිතමිතුරකුගේ මංගල සාදයකට නගරයේ පිහිටි හෝටලයකට පැමිණියේ තවත් පිරිසක් සමගිනි.
මංගල චාරිත්‍රවලින් අනතුරුව මත්පැනින් ද පිපාසය ද සංසිඳුවා ගත් ඔහු දිවා ආහාරය ද රැගෙන කාන්තාවන් හට උසුළු විසුළු කරමින් තවත් කිහිපදෙනකු සමග උද්‍යාන කුඩයක් යටට වී සිටියේ බමන මතිනි.
මෙම අවස්ථාවේ වේගවත් ගීත කිහිපයක් සංගීතයට මුසුව ගායනා කරද්දී එක් එක් තැනැත්තා තාලයට පාද තබමින් නර්තනයේ යෙදුණේය.
අනතුරුව මෙම තැනැත්තා ද එහෙට මෙහෙට වැනෙමින් එම ස්ථානයට පැමිණ නටන්නට වූයේ අන් අයට හිරිහැරයක් වන පරිද්දෙනි.
මේ අවස්ථාවේ ගීතයක් පසුබිමින් ඇසෙත්ම නර්තනයේ යෙදෙමින් සිටි එක් කාන්තාවක අසලට පැමිණි මොහු එම ගීතයට අනුව කාන්තාව දෙසට අත දිගු කරමින් ශරීරයේ ස්පර්ශ වෙමින් ආලවට්ටම් දමමින් නර්තනයෙහි යෙදෙන්නට විය. එම අවස්ථාවේ එක් වරම වැදුණු කම්මුල් පහරකින් කැරැකී ගොස් ඔහු මේසයක් අසල ඇදවැටුණේ සියලු දෙනාගේ දෙනෙත් ඒ දෙසට යොමු කරවමිනි.
පසුව අමාරුවෙන් හිස ඔසවා බැලූ ඔහුට පෙනුණේ හැඩි දැඩි පුද්ගලයකු තරහෙන් වෙව්ලමින් තමා වෙත බලා සිටින අයුරුය. ලජ්ජාවටත් කෝපයටත් පත් ඔහු සෙමින් නැගිට ගියේ මේසයේ වැදීම නිසා තම හිසෙන් ලේ වහනය වන නිසාය.
මෙම පුද්ගලයා තමාට පහරදීමට හේතුව පසුව සොයා බැලීමේදී ඔහුට දැනගන්නට ලැබුණේ, තමා නර්තනයේ යෙදෙන අවස්ථාවේ වාදනය වූ ගීතයේ සඳහන් වී තිබුණේ තමාට පහරදුන් පුද්ගලයාගේ බිරියගේ නම බවයි.
ඇයට උසුළු විසුළු කරමින් ගීතයට අනුව රංගනයේ යෙදුණේ ඇය සමඟ හිතවත්කම් පවත්වන තැනැත්තකු බවට වැරැදි ලෙස අවබෝධ කරගැනීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
කරුණු කෙසේ වෙතත්, අවසානයේ ඔහුට සිදු වූයේ බමන මතින් රඟපෑමට ගොස් පහරකෑමටත්, පිරිසක් ඉදිරියෙහි ලජ්ජාවටත්, තම බිරියගේ ද දෝෂ දර්ශනයටත් ලක්වී රෝහල වෙත යාමටයි.

