සහන මල්ල අරන් යන්න ග්‍රාම නිලධාරි ගෙදරට එන්න කියලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා ලබාදෙන ආහාර මල්ල ගෙන යාමට තම නිවෙසට එන ලෙස දන්වනු ලැබූ ග්‍රාම නිලධාරිවරයකු පිළිබඳව ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වේ.


මෙම ගම්මානයේ නිවාස ගණනාවකින් කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා ඔවුන්ගේ ආශ්‍රීතයන් වූ නිවාස ගණනාවක පිරිස් නිරෝධායනයට ලක් කරන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇත. මෙම නිරෝධායනයට ලක් කළ පිරිස් සම්බන්ධ නාම ලේඛනය මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිට යවා ඇත්තේ එසේ නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා ආහාර මල්ල ලබාදීම සඳහාය.


මෙසේ ආහාර මල්ල සුදානම් කළ ග්‍රාම නිලධාරිවරයා ඒ ඒ පවුල් වෙත ඇමතුම් ලබා දෙමින් ආහාර මල්ල ලබා ගැනීමට එන ලෙසට දන්වා ඇති අතර නිරෝධායනයට ලක්වූවන් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.


මේ අතර ප්‍රදේශයේ මියගිය පුද්ගලයකු සම්බන්ධයෙන් ඡායාරූපයක් බලා ග්‍රාම නිලධාරිවරයා ලබාදුන් වාර්තාවක් අනුව මරණයක කටයුතු සිදු කර ඇතැයි ද එම පවුලේ සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හෙළිවීමෙන් පසු පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද වාර්තා වේ.