(අංජුල මහික වීරරත්න)

ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී  අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර  බණ්ඩාර මහතා  ඊයේ (7)පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේය.

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙම විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණි මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල කළේය.

2009 -2010 කාල සීමාවේ ගල් අඟුරු ආනයනයේ දී සිදුවූ ප්‍රසම්පාදන වංචාවක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් රවින්ද්‍ර බණ්ඩාර මහතා පැවසූයේ අදාළ ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කර තිබෙන බවයි.‍ෙ

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ඉල්ලුම් කළ සමාගම් තුනෙන් තුන් වැනියාට සිටි සමාගමට අදාළ ප්‍රසම්පාදනය කැබිනට් තීරණයක් මත පිරිනමා තිබෙන්නේ යැයි  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී  අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.