ලෙඩ පාට් පෙන්නා පොලිසිය අන්දවලා



පෝද්දල සරත් ආනන්ද ගමගේ



මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බූරු පිටියක් පොලිසිය විසින් වැටලීමේදී එහි සිටි තරුණ පිරිස පැන දිවූ අතර එහිදී කොටුවූ වියපත් පුද්ගලයාද උප්පරවැට්ටියක් යොදා ගැලවීගිය පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම නොම්මර එකේ අන්කූරෙකි. කපටිකම උපතින් ලද්දෙකි. කිරි හරක් කීපදෙනෙකු නඩත්තු කරමින් කිරි වෙළඳාම ඔහුගේ ආදායම් මාර්ගය විය. කිරි වෙනුවට වතුර විකුණනවා යැයි කියමින් ගම්වාසීන් ඔහුගේ කිරි මිලදී නොගන්නා බැවින් ඒවා අලෙවි කරන්නේ පිට ප්‍රදේශය වලටය. සතුන් දඩයම් කිරීම සූදු කෙළීම ඔහුගේ විනෝදාංශය විය.
පසුගිය දිනක ඔහු ඇතුළු පිරිසක් සූදු කෙළිමින් සිටි බූරු පිටියකට පොලිසිය කඩා පැන්නේය. එහි සිටි තරුණ පිරිස පොලිසියට හසු නොවී පලා ගියහ. තරුණයින් මෙන් දිවීමට නොහැකි නිසා ඔහු පොලිසියට කොටුවිය. සැකකරු ජිප් රියේ නංවාගෙන පොලිසියට රැගෙන ගියේය. එසේ යන අතරමගදී නීති විරෝධී මත්පැන් අලෙවි කරන ස්ථානයක් වැටලීමට ජීප් රථය නතර කරනු ලැබීය. ජිප් රථයේ රියදුරු සහ සැකකරු රථයේ සිටියදී අනිත් නිලධාරීහු වැටලීමට ගියහ.


ජිප් රථයේ පිටුපස සිටින අපේ කතානායකයා දැන් මෙතනින් පැනගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියේය. ඔහුට ගණදෙවි නුවණ පහළවී ජිප් රාලහාමි ඇමතීය. බුලත් විටක් කන්න නැතුව මට පිස්සු වගේ සර්. මං මේ ඉස්සරහ කඩෙන් බුලත් විටක් ගන්නදැ ”‍යි. ඇසීය. ඔහු ගැන අනුකම්පා සිතී නිලධාරියා ඊට අනුමැතිය දුන්නේය.
අසල කඩයට ගිය ඔහු බුලත්විට දෙකක්ම ගෙන ඒ දෙකේම තිබුණු දුම්කොළ ටික කටේ ඔබාගෙන හපමින් පැමිණියේය. ජිප් රථය අසලට පැමිණෙනවිට දුම්කොළ මතට ක්ලාන්ත වුණු ඔහු බිම ඇදවැටුණේය. සිද්ධිය දුටු පොලිස් නිලධාරියා කලබලවී ජිප් රථයේ තිබුණු වතුර බෝතලයකින් ටිකක් ගෙන මුහුණට ඉස්සද ඔහු නැගිටුවා ගන්නට නොහැකි විය.
වැටලීමට ගිය පොලිස් නිලධාරින් පැමිණෙනවිට සැකකරු සෙම දමමින් සිටියේය. නිලධාරීන් පැමිණි බව දැනගත් ඔහු මහ හයියෙන් උගුර පාදමින් සෙම දමන්නට පටන් ගත්තේය.
දැන් මේ ලෙඩෙක් පොලිසි ගෙනියන්නේ කෙසේදැයි සිතූ නිලධාරිහු අසල සිටි කිහිප දෙනෙකුට ඔහු නිවසට හැරලන්නයි පවසමින් පිටවී ගියහ. පොලිසිය ගිය පසු කිසිවක් නොවූ පරිදී නැගීසිටි ඔහු අතුරු මාර්ගයකින් ගෙදර ගොස් ඇත.