යට ඇදුම වාෂ්ප වෙලා ජරමරයයි


ඉරිදා පොළෙන් රැගෙන ආ තම අලු‍ත්ම යට ඇඳුම අතුරුදන් වීම පිළිබඳව බිරිඳ සමග ආරවුලක් ඇතිකර ගත් සැමියකුට කුඩා දරුවකු විසින් කියාදුන් අපූරු පාඩමක් පිළිබඳ සිදුවීමක් මෑතකදී කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
එම සිද්ධිය සැකෙවින් මෙසේය. 
තරුණ අඹුසැමි යුවළක වාසය කළ නිවස ආසන්නයේම තවත් තරුණ අඹු සැමි යුවලක් වාසය කළහ. මේ අඹු සැමි දෙගොල්ල ඉතාම කුළු පගව කටයුතු කළහ. ඔවුන්ගේ නිවෙස් පිහිටා තිබුණේ එම ගම කෙළවරේම කැලෑවට ආසන්නයේය. ඔවුහු දෙගොල්ලොම හේන් වැඩ කරමින් ජීවිකාව ගෙන ගියහ.


මෙම අඹුසැමියන්ට එකම වයසේ පසුවන කුඩා දරුවෝ දෙදෙනෙක් සිටියහ. දරුවෝ දෙදෙනා මේ ගෙවල් දෙකෙහිම මාරුවෙන් මාරුවට සෙල්ලම් කළෝය. 
මේ අතර ඉරිදා දිනයක නගරයේ පොළට ගිය සැමියා වෙළෙඳ සලකින් අලු‍ත්ම යට ඇඳුමක් මිලදී රැගෙන ආවේය. එම යට ඇඳුම පිළිබඳව ඔහු බිරිඳට සහ ඔහුගේ කුඩා දරුවාට නීතියක්ද පැනෙව්වේය. 
‘‘මේ ගෙදර මගේ යට ඇඳුම්, එර්දි වෙනවා. දැන් කීයක් කියලා ගෙනාවද. ඔන්න හොඳට බලාගනිල්ලා, මේකට එහෙම අත තියන්න එපා. මට අමතක වෙලා කොහේ හරි වැලක වනලා තිබුණෝතින් ඒක වේළුනාට පස්සේ ගෙට ගනිල්ලා.”‍
මේ නීතියෙන් පස්සේ තාත්තාගේ යට ඇඳුම පිළිබඳව පොඩි එකාගේ හිතේ හොඳට මතකය පැලපදියම් විය.
එක දවසක් උදෑසන සැමියා කොහේ හෝ ගමනක් පිටත්වීමට සූදානම් වී ඔහුගේ අලු‍ත්ම යට ඇඳුම සොයා නිවසේ අස්සක් මුල්ලක් නෑර පීරුවත් යට ඇඳුම ඔහුගේ ඇසට හසු නොවුනි.
ඔහුට කේන්තිය ඉහ වහා ගියේය. “මම එදා උඹලට කිව්වා නේද මේ යට ඇඳුම වැලක තිබුණොතින් ගෙට ගන්න කියලා. මං හිතන්නේ කොහේ හරි පොඩි එකා වීසි කරලා ඇති.”‍ බිරිඳත් සැමියාගේ යට ඇඳුම සොයන්නට වූවාය. එහෙත් එය නිවසේ කිසිම තැනක නැති බව ඔවුන්ට තේරුම් ගියේය. 
මේ අතර ඔවුන්ගේ කුඩා දරුවා අල්ලපු නිවසට දුව ගොස් ආපසු වේගයෙන් හති දමමින් දුවගෙන ආවේය. 
ඔහු හති දමමින් කී දෙයට දෙමහල්ලන්ගේ දෑස් උඩ ඉන්දවිය.
‘‘මං එහා ගෙදරට  යනකොට ඒ ගෙදර ඇන්ටියි අංකලු‍යි හොඳටම රණ්ඩු වෙනවා. ”‍ එහා ගෙදර මිනිහගේ යට ඇඳුම කොහොමද අපේ ගෙදර පිළිකන්නට ආවේ”‍ කියමින් අන්කල් හොඳටම බනිනවා.
මේ කතාව කුඩා දරුවා කියනවාත් සමගම සැමියාගේ යට ඇඳුම් සෙවිල්ල එතනින් නතර විය. සැමියාගේ ගමනද නතර විය. අඹුසැමි දෙගොල්ලගේම ආශ්‍රයද එතනින් නතර විය. 
එහෙත්, සැමියාගේ යට ඇඳුම් සෙල්ලම තවමත් නතර වී නොමැති බවට ගමේ කසු කුසුවක් පවතී.

කැබිතිගොල්ලෑව  හේමන්ත රණසූරිය