මිනිපිරියට තෑගි ගේන්න ගිය ආච්චිට සීයා මාරුවෙලා


(තිහගොඩ - උපසේන ලියනගම) 
සිය මිනිපිරියගේ උපන් දිනයට තෑග්ගක් මිලදී ගැනීමට තරමක් දුරින් වූ සුපිරි වෙළඳසලකට සැමියා සමග ගිය වියපත් මිත්තනියක වෙනත් වියපත් සැමියකු සමග අතිනත ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අගනුවර පැත්තෙන් අසන්නට ලැබිණ.


මේ වියපත් යුවළ සිය බාල පුතාගේ දරුවන් දෙදෙනා බලාකියා ගැනීමට අගනුවරට ගියේ ගෘහ සේවිකාවක සොයා ගැනීමට අපහසු වූ නිසා පුතා නිතර කංකෙඳිරි ගෑ හෙයිනි. 


පසුගිය සති අන්තයක දියණියගේ උපන් දිනයට බඩු ගෙන ඒමට පුතා සහ ලේලිය සමග දරුවන්ද පිටත්ව ගිය පසු හුදකලා වූ මේ වියපත් යුවළද කතා කර ගත්තේ මිණිපිරියට තෑග්ගක් දීම සඳහා සුදුසු යමක් ගෙන ඒමට වෙළඳසලකට යාමටය. 


තරමක් දුරින් වූ සුපිරි වෙළඳසලකට දෙදෙනාම ගිය අතර සති අන්තය වූ නිසා වෙළඳසලේ විශාල පිරිසක් වූහ.


කඩිනමින් වෙළඳසල තුළට ගිය සැමියා සෙනඟ අතරේ නොපෙනී යාම නිසා අසීරුවට පත් මිත්තනිය සෑහෙන වෙලාවකට පසු ඔහු සිටිනු දුටුවේ එහි මත්පැන් කවුන්ටරයේ වූ නවීන මත්පැන් බෝතල් දෙස බලා සිටින අයුරුය. 


වහා එතැනට ගිය ඇය ‘දැන් පාටියට ඕව විතරයි අඩු’ කියා ඔහුගේ අත තදින් අල්ලා ඇද්දාය. මිත්තනියට දෙවියන් සිහි වූයේ ඇඳුම හැඩය සමාන වුවත් මේ වෙනත් කෙනකු නිසාය. 


ඔහු ‘ඇයි’ කියා ඇය දෙස රවා බලන විටම සැමියා එතැනට ආ නිසා ලොකු අරගලයක් වූයේ නැතිලු.