(හක්මන විශේෂ – දෙනගම යසන්ත ආරියසේන)
පියා සහ මවගෙන් පළිගැනීම සඳහා කොඩිවිනයක් කරන්නට ගිය පුතා සහ ලේලිය වැසිකිළිවලකට ඇද වැටීමේ සිද්ධියක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
මවුපිය යුවළ සහ පුතා ලේලිය විශාල ඉඩමක නිවෙස් දෙකක ජීවත්වන අතර ඔවුන් අතර නිතර නිතර අඩදබර සිදුවීම සාමාන්‍ය දෙයක් වී තිබේ. ඇතැම් අවස්ථාවල පුතා සහ ලේලිය මවුපිය දෙදෙනාට හිරිහැර සිදුකළ අවස්ථාදවේ. පුතා සහ ලේලිය රජයේ රැකියාවල නියැලෙන අතර දෙදෙනාම මව්පියන්ට සැලකීම පිළිබඳව නිතරම පුරසාරම් දෙඩවීම සිදු කරති.
කට්ටඬියකුගේ උපදෙස් මත කොඩිවිනයක් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කරගත් ලේලිය සහ පුතා දිනයක්ද යොදාගෙන තිබිණි. තම නිවස තුළ තබාගෙන මන්ත්‍ර ජප කිරීමෙන් පසු කට්ටඬියා විසින් දුම්මල සහ කහ පැහැති නූලක් බුලත් කොළයක දවටා මව සහ පියා පදිංචි නිවසේ දොරකඩ ඉදිරිපස කිසිවකුට නොපෙනෙන ලෙස වළදැමීම සිදුකරන ලෙසට පුතාට සහ ලේලියට උපදෙස් දී තිබේ.
කට්ටඬියාගේ උපදෙස් අනුව මව්පියන් පදිංචි නිවසේ දොරකඩ අසල වළක් කපා නූල් කැබැල්ල වැළලීමට මධ්‍යම රාත්රියේදී පුතා සහ ලේලිය කටයුතු කර ඇත.
එම අවස්ථාවේදී පියාට එළියේ ඇසුණ ශබ්දයක් නිසා ඔහු දොර විවෘත කර පැමිණියේය. පියා දැකීමෙන් කලබලවූ ලේලිය සහ පුතා පැන දුවද්දී අසල තිබූ වැසිකිළි වළක ආවරණ කොන්ක්‍රීට් ලෑල්ල කඩාගෙන වළට ඇදවැටී තිබේ.
පුතා සහ ලේලිය දිවි ගලවා ගැනීමට කෑගසමින් දඟලද්දී පියා සහ මව දිව ගොස් ගොඩට ගෙන නිවසට රැගෙන ගොස් ඇති අතර පියා සහ මව දරුවන්ට අනුකම්පා කර සිද්ධිය වසන් කරගෙන සිටියද පසු දින වන විට සිද්ධිය ගම පුරා පැතිර යාම නිසා පුතා සහ ලේලිය මාස කිහිපයක් ලේලියගේ මහගෙදර ගොස් සිටි බව පැවසේ.