බොරුව අතේ පත්තු වී හිස් අතින් ගිහින්



කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



ගමේ පෙම්වතියගේ මුසා බස් වලට හසු වී කොළඹ සිට ගම්බද නිවසකට පැමිණි කොළඹ පෙම්වතාට පෙම්වතිය කියූ බොරුව අතේ පත්තු වීම නිසා හිස් අතින්ම ආපසු කොළඹ ඒමට සිදුවූ පුවතක් නොබෝදා  කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 
මේ නව යොවුන් පෙම් යුවළ ඉකුත් දිනයක කොළඹ සිට තරමක් විශාල බෑග් දෙකකට ඔවුන්ගේ රෙදි පිළි ආදී ලට්ට ලොට්ට පුරවාගෙන බස් රථයකින් ගමට පැමිණියහ.
බසයෙන් බැස ගත් තැන සිට ඔවුන්ගේ නිවසට කිලෝමීටර් හත අටක් පමණ දුර ඇති නිසා එම හන්දියේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට කතාකොට බෑග් දෙකද එයට පටවාගෙන ඔවුහු පෙම්වතියගේ නිවස බලා පිටත් වූහ. 


ඒ යන අතරතුර පෙම්වතිය සිය පෙම්වතාට ඇයගේ ගම් ප්‍රදේශයේ පරිසරයේ විචිත්‍රත්වය වර්ණනා කරමින් යන අයුරු ත්‍රිරෝද රථ රියදුරාට යහමින් ඇසුණි.
කොළඹ පෙම්වතාට ඉවසිල්ලක් නැතිව ‘ඔයාලගේ ගෙදරට තව දුරද සුදූ’ යනුවෙන් අවස්ථා කීපයකදීම විමසන්නට විය. 
ගමේ පෙම්වතියගේ නිවස ඉදිරිපිට ත්‍රිරෝද රථය නතර කෙරිණි. පෙම්වතිය ලහි ලහියේම ත්‍රිරෝද රථයෙන් බිමට බැස බෑග් දෙකද බිමට ඇද දැමුවාය. 
එම නිවස කාමර දෙකක කුඩා නිවසකි. ගඩොල් පැදී ඇති බිත්ති අපවිත්‍ර වී තිබූ අතර වහලයට සෙවිලි කර තිබුණේ තහඩුය.
‘මොකද මේ බය වෙලා බහින්න මහත්තයෝ බහින්න මේක තමයි අපේ ගෙදර’ යනුවෙන් කියමින් පෙම්වතිය තවමත් ත්‍රිරෝද රථය තුළම සිටි පෙම්වතාගේ අතින් අදින්නට වූවාය.
එවිට පෙම්වතා මහත් පුදුමයෙන් දෑස් මදක් ලොකු කර මුව මඳක් හැර “මේකද ඔයාලගේ ගෙදර”‍යැයි ඇසීය. 
“ඔව්නේ මේක තමයි අපේ ගෙදර බහින්නකෝ මම විස්තරේ කියන්නම්”‍ යැයි කිව්වත්, පෙම්වතා ත්‍රිරෝද රථයෙන් බිමට නොබැසම “ඔයා කිව්වෙ නම් කොහොමද, මෙහෙම බවක් දන්නවනම් මම එන්නේ නෑ යමු මාමේ අපි”‍ යැයි ත්‍රිරෝද රථ රියදුරාට පැවසූ අතර, කොළඹ පෙම්වතා විසින් ත්‍රිරෝද රථ රියදුරාට මුදල් දෙන බව පවසා එම රථය ආපසු හරවාගෙන ඔහු පැමිණි හන්දිය බලා පිටත් විය.
ඔහුගේ ඇඳුම් ආයිත්තම් ආදිය තිබූ බෑග් එකද පෙම්වතාට අහිමි විය. 
පැමිණි තැනටම ආපසු ආ ත්‍රිරෝද රථ රියදුරාට ඉල්ලූ මුදලටත් වැඩියෙන් රුපියල් 500ක් දුන් පෙම්වතා “ඔයින් බේරුනා මදැයි, දෙවියන්ට ස්තුති වේවා”‍ යනුවෙන් පවසා කොළඹ බලා පැමිණි බස් රථයක නැගී නොපෙනී ගියේය. 
පෙම්වතියගේ මෙම සිද්ධිය ගම පුරාම ආරංචි වීමට වැඩි වේලාවක් ගත නොවීය. 
ගමේ කොලු‍ ගැටව් පෙම්වතිය හමුවන විට “මාලගිරවියේ මට ඔයත් එක්ක ඔබේ ගමට පියාඹන්න ආසයි”‍ යන ගීතය ගායනා කරන බවද දැනගන්නට ලැබුණි.