(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
බෑණාගේ සත්ව කරුණාවෙන් ස්වයං නිරෝධායනය වූ මාමණ්ඩියට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් පිළිබඳව දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහුගේ නෑනා කොවිඩ්-19 ආසාදනයවීම නිසා ඇය රෝහල් ගතකරනු ලැබුවාය. ඒ සමගම ඇය සමග ජීවත්වූ ඔහුගේ මාමණ්ඩිය හා නැන්දම්මා නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. එදා සිට වෙන කවරදාටත් වඩා සිය මාමණ්ඩිය හා නැන්දම්මා ගැන ඔහු සොයා බැලුවේය. වෙනත් නෑයන්ට හා අසල්වාසීන්ට ඒ ගැන සුළු හෝ දෙයක් කිරීමට ද ඔහු ඉඩ නොතැබුවේය.
මේ සමගම මේ දෙන්නා දෙමහල්ලන්ට මේ බෑණා සාන්තුවරයකු මෙනි. ඔවුහු තම බෑණාට දීර්ඝායුෂ පැතූහ. මෙවැනි බෑණා කෙනකු මතුවටත් ලැබේවායි ඔවුහු ප්‍රාර්ථනා කළහ.
නෑනා සුවය ලබා නිවසට පැමිණියාය. මාමණ්ඩියගේ හා නැන්දම්මාගේ සවයං නීරෝධායන කාලයද නිමවෙමින් පැවතිණි. ස්වයං නීරෝධායන කාලයේ තමන්ට කිසිදු අඩුපාඩුවක් නොකළ මේ බෑණා ගැන ඔවුන් දුටූවේ සුබ සිහිනයකි.
මෙය මෙසේ සිදුවෙමින් පැවතෙද්දී දිනක් මේ බෑණා මේ මාමණ්ඩියගේ හා නැන්දම්මාගේ නිවසට පැමිණියේය. ස්වයං නිරෝධායන කාලයේ තමන් හොඳින් බලාගත් ඔහුගේ රුව දැකීමත් මේ දෙදෙනාගේ දෙනෙතට රසඳුනක් විය. ඒ නිසාම ඔවුහු ඔහු බොහෝම ආදරයෙන් හා සාදරෙයෙන් පිළිගත්හ.
ගතවූයේ ටික වේලාවකි බෑණාගේ කටින් පිටවූ වචනයකින් මේ දෙමෙහල්ලෝ තුෂ්නිම්භූත වූහ. එවැනි දැයක් ඔහු කවදාවත් තමන්ගෙන් ඉල්ලාවී යයි ඔවුහු අපේක්ෂා නොකළහ.
දෑවැද්දටත් කිසිම දෙයක් නොදුන් නිසා තමන්ට ඔවුනගේ නිවස හා ඉඩම ලියා දෙන ලෙස ඉල්ලා සිටියේය. තමන් සවයං නිරෝධායනය සමයේ මේ බෑණා තමන්ට ඇප කැපවී උදව් කළේ මේ සඳහා යයි ඔවුනට සිහිවූයේ දැන් ඉතිං මොකක් කරන්න දැයි යන ප්‍රශ්නය ඉතිරි කරමිණි.