බලු හුවමාරුවෙන් අලි ජංජාලයක්


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
වඳ සැත්කම් කරන්න බැල්ලියන් රැගෙන ගිය අයට උන් ගෙන ගිය තැන් අමතක වී මාරුකර එවීමෙන් බැල්ලන්ට මෙන්ම උන්ගේ ස්වාමිවරුන්ට හතර අතේ දිවයාමට සිදු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් කන වැකිණි.


මේ ප්‍රදේශයේ ජලභීතිකාව මර්දනය කිරීමට අද‌ාළ බලධාරීන් අවධානය යොමු කළේ දඩාවතේ යන බල්ලන් පිළිබඳ ප්‍රදේශවාසීන්ගෙන් දිගින් දිගටම ලැබුණ පැමිණිලි නිසාය. ඒ නිසාම මේ පැත්තේ සිටින බැල්ලන් අල්ලාගෙන ගොස් වඳසැත්කම් කිරීමට ඔවුහු කටයුතු කළේය.


මේ සැත්කම් කෙරුණේ එක ස්ථානයකය. එම ස්ථානයට වඳ සැත්කම් කිරීමට හතරවටින්ම බැල්ලියන් රැගෙන ආවේ වාහනයකිනි. සැත්කමින් පසු බැල්ලන් නියමිත ස්ථානයට රැගෙන යාම පටන් ගත්හ. සංවිධායකයෝ තමන් රැගෙන ආ බැල්ලන් තැන් තැන්වලට යොමු කළෝය. එහෙත් ඒ උන්ගේ නිසි ප්‍රදේශ නොවූ බැවින් බල්ලන් සියලු දෙනාම වගේ මහත් කලබලයට පත්වී සිටියහ.

නන්නත්තාර වී ඒ මේ අත දිව ගියහ.


මේ බලු හුවමාරු හුටපටය නිසා ඇතැමුන් උන්ට ගල්, මුගුරුවලින් පහරදී එලවා දැමුවෝය. සිය ප්‍රදේශයේ බැල්ලන් සොය සොයා ඔවුහු හතර වටේම දිවගියෝය. 


මේ බලු මාරු වැඩේ කළ බලු නිලධාරීන්ට දෙස් දෙවොල් තිය තියාම ඔවුහු හතරවටේම දිවගියහ. ඒ තමන් සතු වාහනවලිනි.