(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියේසන)
වැඩි වාසියක් ලබාගැනීමට මැණික් ගලක් ලබාගෙන පවුම් තුන් කාලක රන්මාලයක් අහිමිකරගත් කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.
සෙනසුරාදා දින සතිපොළ පැවැත්වෙන මෙම නගරය එදිනට ජනාකීර්ණ බවින් යුක්තය. කාන්තාවක බස්රථයකින් නගරයට පැමිණ ඇත්තේ නිවසට අවශ්‍ය කළමනා රැගෙන යාමටය. බසයෙන් බැස පොදු වෙළෙඳපොළ දෙසට පැමිණෙන විට ඇයට තවත් කාන්තාවක මුණගැසී ඇති අතර දෙදෙනා අතර සිදුවූ කතාබහෙන් අනතුරුව ගොඩනගාගත් සුහදතාවයෙන් පසු එක් කාන්තාවක අනෙකාගෙන් උදව්වක් ඉල්ලා ඇති බව පැවසේ.
වටිනා මැණික් ගලක් තමා සතුවන අතර එය විකුණා ගැනීම සඳහා උදව් කරන ලෙස අතර මගදී හමුවූ කාන්තාව පොළට පැමිණි කාන්තාවට පවසා තිබේ. බොහෝ වේලාවක් දෙදෙනා ඒ සම්බන්ධව කතා කරමින් නගරයේ ඇවිද ගොස් ඇති අතර පොළට පැමිණි කාන්තාව සිය ගෙල බැඳි රන්මාලය දී වටිනා මැණිකද රැගෙන ගෙදර ගියාය.
සතුටින් ගෙදර ගිය කාන්තාව නිවස තුළට ගොස් මාලය දී ලබාගත් මැණික් ගල බැලීමට කාන්තාව විසින් ලබාදුන් කඩදාසියක ඔතන ලද දෙය දිගහැර බලා ඇති අතර දුටු දෙයින් ඇයට දෙවියන් සිහිවී පොලීසියට දිව ගියාය.
කාන්තාවක රන් මාලය ලබාගෙන ප්ලාස්ටික් කැබැල්ලක් ලබාදුන් බව සඳහන් නොකර මැණික් ගලේ විස්තරය පවසා රන්මාලය අතුරුදන් බවට පැමිණිල්ලක් කර කාන්තාව පොලිසියෙන් පිටව ගොස් ඇති අතර සිද්ධිය නගරය පුරා ක්ෂණිකව පැතිර ගොස් ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පැමිණිල්ල ලද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.