රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන.
දකුණේ නගරයක ත්රිරෝද රථ රියැදුරකු මෝටර් රථ අංශයේ ලොක්කෙකුගේ බිරියගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර පසුව ඇය පොලිස් ලොක්කාගේ බිරිය බව දැන සමාව ගැනීමට පොලීසියට පැමිණි විට මතක හිටින පාඩමක් කියා දී ආපසු යැවීමේ පුවතක් පිළිබඳව වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. පොලිස් ලොක්කාගේ බිරිය දරුවා පාසලට යැවීමට ප්රමාද වූ බැවින් පා ගමනින් යා යුතු දුර යාමට ත්රිරෝද රථයකට නැග අසල තිබූ විදුහලට දරුවා බාරදී එම ත්රිරෝද රථයේම නැග ආපසු නගරයට පැමිණි විට රියැදුරු තැන හිරිකිතයක් නොමැතිව යාමට රුපියල් 150 ක් හා ඒමට රුපියල් 150ක් වශයෙන් රුපියල් 300ක් ඉල්ලා සිටියේය.
ඒ ගැන කතා කිරීමට ගිය විට සද්දයක් ද දැමූ බැවින් ඇය නිහඬවම එය ගෙවා දමා නිවෙසට පැමිණ තම සැමියාට සිද්ධිය දැන්වූයේ මෙවැනි අසාධාරණ නොවිය යුතු බවද පවසමිනි. කෙසේ වුවද සැමියා නිකමට මෙන් මේ පුද්ගලයා කවුරුන්දැයි සොයා බැලුවේ මෙවන් වැඩ නොකරන ලෙස උපදෙස් දීමටය.
මේ ගැන දැනගත් ත්රිරෝද රියදුරු දෙලොව රත්වී පොලීසියට පැමිණියේ සමාව ගැනීමටය. පොලිස් නිලධාරියා ඔහුට පැය බාගයක පමණ දේශනයක් දුන්නේ මතක හිටින අයුරිණි. මට නම් ප්රශ්නයක් නෑ. අහිංසක මිනිසුන්ට එහෙම කරන්න එපා. සාප වෙනවා. ඒ අය තුට්ටු දෙකක් හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. අපි කවදාවත් ත්රිරෝද රථවල නොමිලේ යන පොලිස්කාරයො නෙවෙයි. අපේ දෑත් පිරිසුදුයි. මගෙන් සමාව ගන්න එපා.
මෙච්චර කල් ඔය වගේ අසාධාරණකම් කරපු අහිංසක මිනිස්සුන්ගෙන් සමාව ගන්නවා. තමා මේ ලෝකෙට බිහිකළ මෑණියන්ට පව් සිදුවෙන වැඩ කරන්න එපා. මම දන්නව මේ වගේ අසාධාරණකම් කරන තව අය ඉන්නවා. ඒ අය ගැන මිනිස්සු අපට කියනවා. අසාධාරණ විදියට හම්බ කරල දරුවන්ට කන්න දෙන්න එපා. යැයි දුන් අවවාද හමුවේ ඔහු කඳුළු සලමින් පොලිසියෙන් පිටවිය.
ඒ සිද්ධිය දෙස අවධානයෙන් බලා සිටි පොලිසියේ නිලධාරියකු පැවසූයේ හැදෙනවා නම් ඔහුට දිය යුතු උපරිම දඬුවම ලබාදුන් බවයි.