පුතාගේ හපන්කම්වලින් මවුපියන්ට උන්හිටි තැන් නැතිවෙලා


(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
මවුපියන්ගේ අවවාද උපදෙස් තඹයකට ගණන් නොගෙන අකීකරුව සමාජ විරෝධී කටයුතුවල යෙදුණු පුතෙකු නිසා මවුපියන්ට සිය ගෙවල් දොරවල් පමණක් නොව මුළු ගමම අතහැර දමා යන්නට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


මේ පවුලේ දරුවන් දෙදෙනෙකි. මව රැකියාවක් නොකළ අතර  පියා රැකියාව ලෙස කුලී වැඩ කළේය. ඊට අමතරව හිඳ හිට වාහනවලට රියදුරෙකු ලෙස ද ඔහු කටයුතු කළේය. දියණිය පාසල් අධ්‍යාපනය හමාර කර සිටි අතර පුතා අධ්‍යාපනය අතර මඟ කඩාකප්පල් කර ගත්තේය. ඒ අතර පුතා නොයෙක් විදියේ රැකියා කිහිපයකම නිරත වූයේය. තරුණයන් බොහෝ දෙනකු ඇසුරු කළ අතර ඒ අතරේ නොයෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන හා නොයෙක් අන්දමේ සොර මැරකම් කරන මිතුරෝ ද ඔහුට වූහ.


මිතුරු ඇසුරත් සමඟ මේ තරුණ පුතා නොමඟට යද්දී ඔහු යහමගට ගන්නට මවුපියන් නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔහු යහමඟට ගන්නට මවුපියන්ට නොහැකි විය. 


මුලින් මුලින් පුංචි පුංචි සොරකම් කළ මේ තරුණ පුතා පසුව මත් වතුර බීමට ද පුරුදු වූයේය. කාලය ගතවෙත්ම නරක මිතුරු ඇසුර නිසා ඔහු මත් කුඩු භාවිතයට ද ඇබ්බැහි  වූයේය. මත්කුඩු පානයෙන් නොනැවතුණු ඔහු පසුව මත්කුඩු ජාවාරම්කරන්නටද පටන් ගත්තේය.


ගමට මත්කුඩු රැගෙන විත් ජාවාරම් කරමින් ගමේ තරුණ පිරිස ද නොමඟට ඇඳ දමන්නට උත්සාහ කරමින් සිටිය දී ගම්වාසීහු  එක්ව මොහුට පහර දී මත්කුඩුද සමඟ අල්ලා පොලීසියට  බාර දුන්හ.


මේ එකම පුතාගේ හැසිරීමෙන් කලකිරුණු හා ඒ නිසා ගම්වාසීන්ට  මුහුණ දීමට ඇති වූ ලැජ්ජාව නිසා සිය පදිංචි නිවස ද හදිසියේම විකුණා දැමූ පියා බිරිඳ  හා දියණිය සමඟ දිවයිනේ ඈත ප්‍රදේශයකට පදිංචියට ගොස් ඇත.


පොලීසියට භාරදුන් පුතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්නවාලු.