පැළ සිටුවන්න ගිහින් අලි අමාරුවක


රජයෙන් ලැබුණු පැළ සිටුවන්න ගොස් අලි අමාරුවක වැටුණු පෞද්ගලික ආයතනයක ලොක්කකු පිළිබඳ අපූරු කතාවක් ගම්පහ නගරයට නුදුරු ගමකින් අසන්නට ලැබේ.
හේ එම ආයතනයේ විධායකයෙකි. කෙතරම් ලොක්කෙක් වුවත් ඔහු සිය ගෙවත්තේ අපූරු වගාවක් කරගෙන ගියේය. ප්‍රියම්භිකාවගෙන් ඊට ලැබුණු සහාය මෙතෙකැයි  කීයා  නිම කළ නොහැකිය. මේ  දෙදෙනාගේ සුසංයෝගය නිසාම සිය ගෙවත්ත ඕනෑම අයකුගේ මන බඳින තරම් චමත්කාර විය. ඕනෑම අයකුට එක වරක් නොව  දෙවරක් නොව කිහිපවරක්ම මේ වත්ත දිහා බලා සිටිය හැකි ආකාරයට මේ අඹුසැමියෝ මේ වත්ත පැළවලින් නඩත්තු කරගෙන ගියහ. කෘෂිකර්මයේ ඇත්තෝද මේ ගෙවත්තට ඇල්ම බැල්ම හෙළුවෝය. මේ නිසාම මේ මෑතකදී ඔවුනට රජයෙන් සිටුවීමට පැළ ලැබුණේය. 


වත්ත පුරාම පිළිවෙළකට වළවල් කපා පැළ සිටුවීම  බාර ගත්තේ ලොක්කාය. නැත්නම් නිවෙස් හිමියාය. ඔහු ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තේ සිය ඇඹේනිය මුළුතැන් ගෙයි වැඩවලට ගත් මිට කහ පාට කතුරය. ඒ පැළවල පොලිතින් කවරය ඉවත් කිරීමටය. 
වැඩේ ජයටම කෙරීගෙන ගියේය. කතුරෙන් පොලිතින් උර කප කපා ඔහු පැළ සිටවුවේය. වැඩේ නිමාවිය. පැළ දිහා බලමින් ඔහු සතුටු වූවේය.
හදිසියේම භාර්යාව ඔහුට අඬගැසුවේ පැළ සිටුවීමට ගත් කතුර සොයා ගැනීමටය. ඒ මුළුතැන් ගෙයි වැඩක් සඳහා කතුර උවමනා බැවින්ය. ඔහු කතුර අතන ඇති මෙතන  ඇති යයි කියමින් කීවේය. කතුර සොයා දෙන ලෙස භාර්යාව  ඔහුට වද කළාය. කතුරට වූ දෙය ඔහුට සිහිවූයේ එවිටය. දෙයියනේ අන්තිම පැළය සිටුවීමට යාමේදී ඔහු පැළයත් සමග කතුර දමා වළලන්ට ඇතැයි සිහිවූවේය. මෙය භාර්යාවට පැවසුවහොත්  නාගන්ට වන නිසා චුට්ටක් ඉන්න යයි කියමින් ඔහු භාර්යාවට හොරෙන් වංගුවක් දමා ගොස් කඩෙන් මිට කහපාට කතුරක් ගෙනැවිත් එහි මඩ තවරා හෝදා දුන්නේ පරණ කතුර වගේ පෙනෙන්නලු. 

කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත