(රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි)
රුවන්වැල්ල නගරයට නුදුරින් පිහිටි පිටිසර ගම්මානයකි. එහි ජීවත් වූ පවුල්වලින් බහුතරයක් අසරණ පවුල්ය. එහෙත් ඔවුහු දුකසැප එක සේ බෙදාහදාගෙන සතුටින් හා සැහැල්ලුවෙන් ජීවත් වූහ. එය වෙනත් ගමක දැකිය නොහැකි වූ යහපත් ගුණාංගයක් ද විය.
එසේ සිටියදී කිසියම් හේතුවක් නිසා එක් පවුලක සාමාජිකයින් තිදෙනකුට හදිසියේම කොවිඩ් වැළඳිණි. ගෙදර අනෙකුත් අයද නිරෝධායනයට ලක්වීමෙන් පසු අවට වටපිටාවේ ඇති හැකි අය මෙන්ම නැති බැරි අය ද ඔවුන්ට බඩුබාහිරාදිය ගෙනවිත් දීමෙන් උපකාර කළහ.
මේ අතර දිනෙක හවස් යාමයේ ත්‍රිරෝද රථයක් ගෙදර මිදුලේ නවතාලන ලදුව එහි රියදුරා ඈත තියා නිවැසියන්ට කතා කළේය. පවුලට ඉතා සමීප හිතවතකු වූ ඔහු ත්‍රිරෝද රථයෙන් බැස ‘බඩු වගයක් ගෙනාවා, ගෙට ගන්න. මම ගිහින් එන්නම්’ යයි පවසමින් බඩුබාහිරාදිය රැගෙන ආවේ තමන් යයි හඟවමින් පිටවී ගොස් තිබේ. ගෙදර අයද විපතට පත්ව සිටින වෙලාවේ නිවසට බඩු ගෙනවිත් දීම පිළිබඳව ත්‍රිරෝද රථ හිමියාගේ ගුණ මෙනෙහි කරමින් සිටියේය.
එසේ සිටියදී පැයකට පමණ පසු ඔවුන් බඩුබාහිරාදිය මිලට ගන්නා කඩ හිමියාගෙන් දුරකතන ඇමතුමක් ලබන ලදුව එයින් කියවුණේ ‘ත්‍රිරෝද රථයකින් බඩු වගයක් එව්වා. ලැබුණාද?’ යන්න ගැනය.
මෙහිදී කඩ හිමියාගෙන් ලද දුරකතන ඇමතුමෙන් නිවැසියන් ඇත්ත කතාව දැනගෙන ඇති බව ආරංචි වූ රියදුරා කලකට ඒ ගෙවල් පැත්තට නොගිය බව ද දැනගත හැකි විය.