(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ස්වයං නිරෝධායනයට යොමුවූ පවුලක් අලි අමාරුවක දැමූ ආපනශාලා හිමියකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණ.
භාර්යාව කොරෝනා ආසාදිතව රෝහල් ගත කිරීම නිසා ඔහුත් දරු දෙදෙනාත් පත්වූයේ දැඩි අසරණතාවකටය. එය වඩාත්ම හොඳින් කැපී පෙනුණේ ඔහුට උයන්න පිහින්න බැරිවීමත් සමගමය. නෑ සනුහරේ හා අසල්වාසීන් අමතක කොට තනි ගමනක් යමින් සිටීම එයට තවත් ප්‍රබල හේතුවක් වී තිබිණ.
මේ අතරවාරේ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේය. ඒ ගමේ ආපනශාලා හිමියකුගෙනි. මම අසවලා, මට දැන ගන්න ලැබුණා ඔයාගේ නෝනා කොරෝනා හැදිලා රෝහල් ගත කළ බවත් ඔයත් දරු දෙදෙනාත් ස්වයං නිරෝධායනයට ලක්වී තිබෙන බවත් එයින් කියවිණ. කිසිදේකට බය වෙන්න එපා ඕන දේකට අපි ඉන්නවා. කෙනෙක් අසරණ වුණාම අපි උදව් කරන්න ඕන. මම ඔය තුන්දෙනාටම තුන් වේලටම කෑම එවන්නම්, ආපනශාලා හිමියා තවදුරටත් කීවේය.
‘අනේ අපි නිසා ඔයා කරදර වෙන්න එපා’ යයි ඔහු කීවේ උයන්න පිහින්න බැරි තමාට මේ ලැබුණේ දේව වරමක් යයි සිතමිනි. ‘නැහැ නැහැ, මට කිසි කරදරයක් නැහැ. මම ගෝලයකු අත අද ඉඳලාම කෑම එවන්නම්’ යයි ආපනශාලා හිමියා අවසන් වරට කියමින් දුරකතන සම්බන්ධතාවයෙන් ඉවත්වූයේය.
ආපනශාලා හිමියා කී පරිදි ඔහුගේ නිවසට තුන් වේලටම කෑම පැමිණියේය. මේ ආපනශාලා හිමියා මිහිපිට දෙවියකු බව සිතූ ඔහු, ඔහුට නිතර දෙවේලේ පිං දුන්නේය. රෝහලේ සිටින සිය බිරියට ද ඔහු කීවේ කිසි ප්‍රශ්නයක් නැතිව කෑම ප්‍රශ්නයනම් නොමිලයේම විසඳුන බවත් ගමේ අසවල් ආපනශාලා හිමියා තමාගේ දුකට පිහිට වූ බවත්ය. සිය පවුලට කළ මේ උදව්වට ඇය ද රෝහලේ සිටම ආපනශාලා හිමියාට පිං දුන්නාය.
බිරිය සුවපත් වී රෝහලෙන් නිවසට පැමිණියාය. ඔවුන්ගේ ස්වයං නිරෝධායනය නිමාවී තිබිණ. ඔය අතරවාරයේදී ආපනශාලාවේ ගෝලයකු ඔහුගේ නිවසට පැමිණියේය. ඔහු අත තුණ්ඩුවක් තිබිණ. සිය ස්වාමියා මෙය දෙන්න යයි කියමින් ගෝලයා තුණ්ඩුව ඔහු අත තැබීය. ඒ ඔවුන් ස්වයං නිරෝධායන කාලයේ නොමිලයේ ආහාර දෙන්න මෙන් කතා කළ ආපනශාලා හිමියා ඔවුන්ට සැපයූ කෑම වෙනුවෙන් අය විය යුතු බිලය. ඒ බිලේ සඳහන් මුදල දුටුවිට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ ආපනශාලා හිමියාගේ ලොකු උගුලක තමන් වැටුණු බව සිහි කර කර දුක් වෙමිණි.