(කොත්මලේ-සුදත් එස්. කුමාරසිරි)
අවුරුදු නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මුට්ටියක් රැගෙන එන ලෙසට බිරිය සැමියාට දුන් මුදල්වලින් රා බී හවස ගෙදර යන ගමන් සොහොනක තිබූ මැටි මුට්ටියක් රැගෙන ගොස් බිරියට ලබාදීමේ සිද්ධියක් කොත්මලේ ගම්මානයකින් වාර්තාවේ.
එම සිද්ධිය මෙසේය. කොත්මලේ ගම්මානයක පදිංචි කාන්තාවක් අවුරුදු සිරිත් විරිත් අකුරටම ඉටුකරන්න සූදානම් වූයේ අලුත් අවුරුද්දේ තමන්ටත්, තම පවුලේ අයටත් යම්කිසි යහපතක් උදාකර ගැනීමේ අරමුණ ඇතිවය.
ඒ සඳහා අලුත් අවුරුද්දේ නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මැටි මුට්ටියක් ඇයට අවශ්‍යය විය.
තම සැමියා අසල පිහිටි නගරයට යාමට සූදානම්ව සිටින බව දැන ඇය සැමියා අතට රුපියල් 200ක මුදලක් ලබා දුන්නේ හවස ගෙදර එද්දී අලුත් අවුරුද්ද උදාවන නැකතට කිරි ඉතිරවීමට නැවුම් මැටි මුට්ටියක් රැගෙන එන ලෙස දන්වමිනි.
ලබාදුන් මුදල ද රැගෙන නිවෙසින් පිටවූ සැමියා මුලින්ම ගියේ අසල තිබූ රා තැබෑරුමකටය. එහි මද වේලාවක් රැඳී සිටි ඔහුට නොදැනුවත්ම වාගේ තම බිරිඳ මුට්ටියක් රැගෙන ඒම සඳහා ලබාදුන් මුදල ද වියදම් විය.
එම මුදල්වලින් ද රා පානය කිරීමෙන් පසුව හවස ගෙදර යන කොට කොහොම හරි මුට්ටියක් රැගෙන යා යුතු බව ඔහුට සිහිවූයේ බිරිඳගේ හැටි හොඳින් දන්නා නිසාය. ඒ අතරතුර පාර දිගේ තම නිවෙස බලා යමින් සිටි සැමියාට අතරමග දී ගණදෙවි නුවණ පහළ විය. ඒ අසල තිබූ කනත්තක් දකින විටය. ඒ සැණින්ම කනත්තට ගොඩවූ ඔහුට අලුත මිහිදන් කළ මිනීවළක් අසල මැටි මුට්ටි කිහිපයක්ම දක්නට ලැබිණි. ඉන්පසුව ඉන් එක් මැටි මුට්ටියක් පරිස්සමට ගත්තේ අලුත් අවුරුද්දේ තම බිරිඳට කිරි ඉතිරි වීමට කෙසේ හෝ මැටි මුට්ටියක් රැගෙන යායුතු බැවිනි.
අතේ තිබූ ඉටිබෑග් එකට මැටි මුට්ටිය දමාගෙන බිරියට බාරදුන්නේ බිරිය වෙනුවෙන් හරියටම යුතුකම් ඉෂ්ට කරන සැමියකු ලෙසනි.
සද්ද බද්ද නැතිව නින්දට ගිය සැමියා ගෙන ආ මැටි මුට්ටිය, මල්ලෙන් එළියට ගෙන බිරිය විසින් බැලුවේ පසුදින උදෑසනය. ඒ අවස්ථාවේ දී බිරිය දැක ඇත්තේ සැමියා ගෙන ආ මැටිමුට්ටියේ මතුපිට රිදී පාට තීන්ත ආලේප කර ඇති අයුරුය.
මෙයින් සිදුව ඇති දේ අවබෝධ කර ගත් බිරිය සැමියාගේ ඇද ළඟටම ගොස් දෙස් දෙවොල් තැබුවේ සැමියාට ද කිසිත් සිතාගත නොහැකිවය.