දුවලා මාරුවෙලා


(තිහගොඩ - උපසේන ලියනගම)


මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක පාසල් ඇරෙන මොහොතේ ප්‍රාථමික ශ්‍රේණියේ දරුවකු රැගෙන යාමට පියකු ආවේ හෙල්මටය හා මුඛාවරණ පැළඳ සිය රතු පැහැති යතුරුපැදියෙනි.
ඔහු මඳක් ප්‍රමාදවී පැමිණි හෙයින් දියණිය දුවගෙන විත් යතුරු පැදියට නැගගත් අතර පියා එය ධාවනය කරන විට දුව කීවේ පාර වැරදී යන බවකි. ‘‘හැමදාම යන පාරනේ. කට වහගෙන ඉන්නැයි’’ පියා කීවේ තරමක් කෝපයෙනි.
ගෙදර මිදුලේ යතුරු පැදිය නැවැත්වූ විට දුව කීවේ ‘‘මේ අපේ ගෙදර නෙමෙයිනේ’’ කියාය. පියා අන්දමන්දවී දියණිය දෙස සැලකිලිමත්ව බැලූ විට ඔහුට දෙවියන් සිහිවූයේ මේ තම දියණිය නොවූ හෙයිනි.
දියණිය අඬන්නට වූයෙන් ‘‘දුව අඬන්න එපා. මම ගෙදරට ඇරලන්නම්’’ කියූ ඔහු කඩිනමින් ඇය යළිත් පාසලට රැගෙන ගියවිට තම යතුරු පැදියට සමාන එකකින් ආ පියකු අසලට ඇය දිව ගියේ සතුටෙනි.
ඒ සමගම තම දියණියද අඬමින් සිට තම යතුරු පැදියට දිව ආ අතර මේ මවුපියන් දෙදෙනා සිදුවූ දරු මාරුව ගැන කතා කළේ මහත් තැතිගැන්මකින්ලු.